බුදු දහමේ අභිධර්ම පිඨකයට අනුව මිනිසුන්ට, දෙවියන්ට, තිරිසන් සත්වයන්ට සහ ප්‍රේත යක්ෂ ආදී සත්ව කොට්ඨාශවලට පහලවන සිත් කාමාවචර සිත් වන අතර එය ගනනින් 54කි. එම සිත් ඇසුරු කොට ඇතිවන සිතුවිලි 52කි. මෙම සිතුවිලි පනස් දෙක අතර ඇති සබ්බ චිත්ත සාධාරණ චෛතසික හෙවත් සිතුවිලි 7, පිළිබඳ හැඳින්වීම අපූරු මනෝ විද්‍යාත්මක විග්‍රහයක් වේ. එනම් අප විසින් සිදුකරනු ලබන හොඳ හෝ නරක සෑම ක්‍රියාවකටම ඇතිවන සිතේ බලපැමට මෙම සිතුවිලි හත මුල්වෙයි. සබ්බ චිත්ත සාධාරණ සිතුවිලි යනු සියලුම චිත්තයන් හෙවත් කුසල් අකුසල් (යහපත් හෝ අයහපත්) සිත් සමඟ පොදුවේ ඇතිවන මානසික සාධක හෙවත් චෛතසික ධර්ම හතකි. එනම්, ඕනෑම ආකාරයක සිතක් පහළ වන විට මෙම චෛතසික හත ඒ සමඟම ඇති වේ. ඒවා නම් පස්ස, වේදනා, සඤ්ඤා, චේතනා, ඒකග්ගකා, ජීවිතේන්ද්‍රිය සහ මනසිකාර වේ.
1. ඵස්ස (ස්පර්ශය – Contact)
බාහිර අරමුණක් (රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම) සහ අභ්‍යන්තර ඉන්ද්‍රියක් (ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස) ගැටීමෙන් හටගන්නා මානසික ක්‍රියාවලියයි. මෙය අරමුණු දැනගැනීමේ පළමු පියවරයි. මෙම ඵස්ස සිතුවිල්ල නිසා අරමුණ දැනගැනීම සඳහා මාර්ගය විවරවේ.
මේ සඳහා උදාහරණ කිහිපයක් පහත දක්වා ඇත.
ඇසට රූපයක් ගැටීමෙන් “රූපය පිළිබඳ දැනීමක්” ඇතිවීමේ ආරම්භය ඵස්සයයි. මෙහිදී හුදෙක් රූපයක් ඇති බව දැනෙන නමුත් එය කුමක්දැයි තවමත් හඳුනාගෙන නැත. එසේම කනට ශබ්දයක් ඇසීමෙන් “ශබ්දය පිළිබඳ දැනීමක්” ඇතිවීමේ ආරම්භය ඵස්සයයි. හුදෙක් ශබ්දයක් ඇසුණු බව දැනෙන නමුත් එය කුමන ආකාරයේ ශබ්දයක්දැයි තවමත් හඳුනාගෙන නැත. තවද අතීත හෝ අනාගත මවාගත් සිතිවිල්ලක් හෝ සංකල්පයක් මනසට පැමිණීමෙන් “මනෝ අරමුණක් පිළිබඳ දැනීමක්” ඇතිවීමේ ආරම්භය ඵස්සයයි.
2. වේදනා (වේදනාව – Feeling)
පස්ස හෙවත් ස්පර්ශ සිතුවිල්ල නිසා අරමුණ පිළිබඳ ඇතිවන සැප, දුක් හෝ මැදහත් (සැපක් හෝ දුකක් නොවන) හැඟීම වේදනා සිතුවිල්ල වේ. අරමුණ ප්‍රිය හෝ අප්‍රිය හෝ උදාසීන ලෙස අත්දැකීම මෙහිදී සිදුවේ. ප්‍රියමනාප රූපයක් දුටු විට ඇතිවන සතුටුදායක හැඟීම සහ මිහිරි රසයක් දැනුණු විට ඇතිවන ප්‍රියමනාප හැඟීම ද, අප්‍රිය රූපයක් දුටු විට ඇතිවන අප්‍රසන්න හැඟීම සහ ශරීරයේ වේදනාවක් දැනුණු විට ඇතිවන දුක් සහගත හැඟීම ද, උදාසීන රූපයක් දුටු විට හෝ සැපක් හෝ දුකක් නොවන ස්පර්ශයක් දැනුණු විට ඇතිවන මධ්‍යස්ථ හැඟීම ද, වේදනා සිතුවිල්ල නිසා හටගනී.
3. සඤ්ඤා (සංඥාව – Perception)
වේදනා සිතුවිල්ල තුළින් අත්විඳි අරමුණ හඳුනාගැනීම, ලේබල් කිරීම හෝ වර්ග කිරීමේ මානසික ක්‍රියාවලිය සඤ්ඤාව වේ. අත්විඳි අරමුණ “මේ රූපයයි”, “මේ ශබ්දයයි”, “මේ සිතුවිල්ලයි” ලෙස හඳුනාගැනීම හෝ දුටු රූපය “මිනිසෙක්”, “ගසක්” හෝ “නිවසක්” ලෙස හඳුනාගැනීම හෝ ඇසුණු ශබ්දය “සීනුවක්”, “කතාවක්” හෝ “සංගීතයක්” ලෙස හඳුනාගැනීම හෝ මනසට නැඟුණු හැඟීම “කෝපයක්”, “ආශාවක්” හෝ “සැලසුමක්” ලෙස හඳුනාගැනීම සඤ්ඤා සිතුවිල්ල මගින් සිදුවේ.
4. චේතනා (චේතනාව – Volition/Intention)
යම් ක්‍රියාවක් කිරීමට සිත මෙහෙයවන මානසික පෙළඹවීම හෝ අභිප්‍රාය චේතනා සිතුවිල්ල වේ. මෙය සිතේ ක්‍රියාකාරී ස්වභාවයයි. සිත යම් අරමුණක් වෙත යොමු කිරීම සහ ක්‍රියාත්මක වීමට අවශ්‍ය ශක්තිය සැපයීම මෙම සිතුවිල්ලෙන් සිදුවේ. එනම් යමක් දැකීමට හෝ යමක් ඇසීමට හෝ යමක් රස විඳීමට හෝ යම් ගඳ සුවඳක් ආග්‍රහනය කිරීමට හෝ යමක් කීමට හෝ යමක් කිරීමට හෝ සිත යොමු කිරීමේ ක්‍රියාවලිය මෙම චේතන සිතුවිල්ල මගින් සිදුවේ.
5. ඒකග්ගතා (ඒකාග්‍රතාව – One-pointedness/Concentration)
චේතනා සිතුවිල්ලෙන් ගනු ලබන අරමුණ ස්ථිරව පිහිටුවා ගැනීමේ මානසික හැකියාව ඒකග්ගතා සිතුවිල්ල තුළ පවතී. මෙමගින් සිත විසිර යාම වළක්වා එක් අරමුණකම සිත රඳවා තබා ගැනීම සිදුකරයි. භාවනා කරන විට හුස්ම ගැනීම වැනි එක් අරමුණක සිත එකඟ කර ගැනීම, පාඩම් කරන විට හෝ යම් කාර්යයක් කරන විට අවධානය වෙනතකට යොමු නොවී ඒ කෙරෙහිම සිත යොමු කිරීම මීට නිදසුන් වේ.
6. ජීවිතේන්ද්‍රිය (ජීවිතේන්ද්‍රිය – Psychic Life Faculty)
මානසික ක්‍රියාවලීන්ගේ පැවැත්මට සහ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වන ජීව ශක්තිය වැනි මානසික බලය ජීවිතේන්ද්‍රිය සිතුවිල්ල මගින් ඇතිකරයි. මෙය සිතේ සහ සිතුවිලිවල සහජීවනයට හේතු වේ. සිත සහ සෙසු සිතුවිලි එකට පවත්වාගෙන යාම සහ ඒවායේ ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාම ද මෙම සිතුවිල්ල නිසා සිදුවේ. තව දුරටත් පැහැදිලි කරන්නේ නම් සිතුවිලි එකින් එක ඇතිවී නැතිවී යන නමුත්, එම සිතුවිලි දරා සිටින සහ ඒවා ක්‍රියාත්මක වීමට ඉඩ සලසන මූලික මානසික ශක්තිය වන්නේ ජීවිතේන්ද්‍රියයි. ශරීරයට ජීවය අත්‍යවශ්‍ය වන්නා සේම, මානසික ක්‍රියාවලීන්ට මෙම මානසික ජීව ශක්තිය අත්‍යවශ්‍ය වේ.
7. මනසිකාර (මනසිකාරය – Attention/Directing the Mind
සිත අරමුණක් වෙත යොමු කිරීමේ හෝ අවධානය යොමු කිරීමේ මානසික ක්‍රියාවලිය වන්නේ මනසිකාර සිතුවිල්ලයි. මෙම සිතුවිල්ල අරමුණ පිළිබඳව සිත දැනුවත් කිරීමේ මූලික කාර්යය ඉටු කරයි. සිත නිශ්චිත අරමුණක් වෙත යොමු කිරීම, අරමුණ පිළිබඳව අවධානය යොමු කිරීම සහ සෙසු චෛතසිකයන් (සිතුවිලි) අරමුණ වෙත යොමු කිරීමට උපකාර කිරීම මෙම සිතුවිල්ල මගින් සිදුකරයි. උදාහරණ ලෙස යම් දෙයක් දෙස බැලීමට සිත යොමු කිරීම, යම් කෙනෙකුගේ කතාවට සවන් දීමට සිත යොමු කිරීම, යම් සිතුවිල්ලක් ගැන ගැඹුරින් කල්පනා කිරීමට සිත යොමු කිරීම ආදිය දැක්විය හැකිය.
මෙම සබ්බ චිත්ත සාධාරණ චෛතසික හත සෑම සිතුවිල්ලක් සමඟම මෙන්ම හැම සිතක් සමගම අනිවාර්යයෙන්ම පවතී. සිතුවිලිවල ස්වභාවය වෙනස් වුවද (කුසල් – අකුසල්), මෙම මූලික මානසික ක්‍රියාවලීන් සෑම විටම සිදුවේ. මෙම චෛතසිකයන්ගේ ක්‍රියාකාරිත්වය නිසා අපට ලෝකයත්, අපගේ අභ්‍යන්තර අත්දැකීම්ත් විවිධ ආකාරවලින් දැන ගැනීමට, විඳීමට සහ ප්‍රතිචාර දැක්වීමට හැකියාව ලැබේ.
පට්ටියවෙල මහින්ද හිමි | Ven Pattiyawela Mahinda Thero

More Stories
අපරාධ නිවාරණය සහ මනෝභාව කළමනාකරණය පිළිබඳ විතක්ක සණ්ඨාන සූත්‍ර විමර්ශනය
කුම්භ සූත්‍රය: සිව් වැදෑරුම් පුද්ගල ස්වභාවයන් පිළිබඳ බෞද්ධ විවරණයක්
පෙනෙන නොපෙනෙන පුද්ගල ගතිසොභා | උදකරහද සූත්‍රය