Emansala

A happy life with a balanced mind

නින්ද අවුල් ද

මානව නින්දේ කායික විද්‍යාව

මානව නින්දේ කායික විද්‍යාව, ස්නායුක යාන්ත්‍රණ, අක්‍රමිකතා සහ චර්යාත්මක පාලනය පිළිබඳ පූර්ණ විද්‍යාත්මක අධ්‍යයනයක්

විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් නින්දේ සැඟවුණු සත්‍යය

නින්ද යනු කුමක්ද සහ එහි ස්නායුක යාන්ත්‍රණය

විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් බලන කල, නින්ද යනු හුදෙක් දෑස් පියාගෙන සිටින නිෂ්ක්‍රීය තත්ත්වයක් නොව, මිනිස් සිරුරේ සහ මොළයේ අත්‍යවශ්‍ය කායික විද්‍යාත්මක, පරිවෘත්තීය සහ ස්නායුක ක්‍රියාවලින් ගණනාවක් සක්‍රීයව සිදුවන අතිශය සංකීර්ණ ජීව විද්‍යාත්මක තත්ත්වයකි. එය මොළය සාපේක්ෂ විවේකී තත්ත්වයකට පත්වන අතරම අභ්‍යන්තර උත්තේජකයන්ට පමණක් මූලිකව ප්‍රතිචාර දක්වන සක්‍රීය සිහිසුන් තත්ත්වයක් ලෙස වෛද්‍ය විද්‍යාවේදී අර්ථ දැක්වේ. නින්දේ උත්පාදනය සහ එය පවත්වා ගැනීම ප්‍රධාන වශයෙන් ස්නායුක පද්ධති දෙකක සංකීර්ණ අන්තර් ක්‍රියාකාරිත්වයකින් නියාමනය කරනු ලබයි. එනම්, සමස්ථිතික නින්දේ අවශ්‍යතාවය (Homeostatic sleep drive) සහ දෛනික ජීව රිද්මය හෙවත් සකැඩියන් රිද්මය (Circadian rhythm).

සමස්ථිතික ක්‍රියාවලිය මගින් නිරූපණය වන්නේ පුද්ගලයෙකු අවදියෙන් සිටින කාලය පුරාවට ශරීරය තුළ අඛණ්ඩව එකතු වන නින්දේ අවශ්‍යතාවයයි. පුද්ගලයෙකු දිගු වේලාවක් අවදියෙන් සිටින විට, මොළයේ බාසල් ෆෝබ්‍රේන් (basal forebrain) කලාපය තුළ ඇඩි නොසීන් (adenosine) නමැති රසායනික ද්‍රව්‍යය ක්‍රමයෙන් එකතු වේ. මෙම ඇඩි නොසීන් ඉහළ යාම මගින් මොළයේ අවදි බව ප්‍රර්වධනය කරන නියුරෝන නිෂේධනය කර නින්ද ඇති කිරීම උත්තේජනය කරයි. කැෆේන් (caffeine) සහ තියෝෆයිලීන් (theophylline) වැනි උත්තේජක ද්‍රව්‍ය මගින් මෙම ඇඩි නොසීන් ග්‍රාහක අවහිර කිරීම හරහා නින්ද යාම ප්‍රමාද කර අවදී බව පවත්වා ගන්නා බව ස්නායු විද්‍යාත්මකව තහවුරු වී ඇත.

මොළයේ ස්නායුක යාන්ත්‍රණය

අනෙක් අතට, සකැඩියන් රිද්මය යනු පෘථිවියේ භ්‍රමණයට සහ පරිසරයේ ආලෝකයේ වෙනස්වීම් වලට ප්‍රතිචාර දක්වමින් මිනිස් සිරුරේ නිදා ගැනීමේ සහ අවදිවීමේ චක්‍රය පාලනය කරන පැය 24.2 ක අභ්‍යන්තර කාලරාමු පද්ධතියකි. මෙම අභ්‍යන්තර ජීව විද්‍යාත්මක ඔරලෝසුව ප්‍රධාන වශයෙන් පාලනය වන්නේ මොළයේ හයිපොතැලමසයේ පිහිටා ඇති ස්නායු සෛල 50,000 කින් පමණ සමන්විත සුප්‍රාකයිස් මැටික් න්‍යෂ්ටිය (Suprachiasmatic nucleus – SCN) මගිනි. සකැඩියන් රිද්මය ක්‍රියාත්මක වීම සඳහා සෛලීය මට්ටමේ පවතින ජානමය යාන්ත්‍රණයක් දායක වේ. එහිදී BMAL1/BMAL2 සහ CLOCK වැනි ධනාත්මක නියාමක ජාන ද, CRY1/CRY2 සහ PER1/PER2/PER3 වැනි සෘණාත්මක නියාමක ජාන ද අන්තර් ක්‍රියා කරමින් මෙම පැය 24 ක චක්‍රය අඛණ්ඩව පවත්වා ගනී.

මිනිස් ඇසේ දෘෂ්ටි විතානය (retina) මතට පතිත වන ආලෝකය පිළිබඳ සංඥා, දෘෂ්ටි ස්නායුව (Cranial nerve II) ඔස්සේ රෙටි නොහයි පොතලමික් මාර්ගය හරහා SCN වෙත ගමන් කරයි. ආලෝකය පවතින දිවා කාලයේදී SCN මගින් නින්ද ඇති කරන හෝමෝනයක් වන මෙලටොනින් (Melatonin) ශ්‍රාවය වීම නිෂේධනය කරන අතර, රාත්‍රී කාලයේදී ආලෝකය නොමැති වීමත් සමඟ පයිනියල් ග්‍රන්ථියෙන් (Pineal gland) මෙලටොනින් ශ්‍රාවය වීම උත්තේජනය කරයි. නින්ද ආරම්භ කිරීම සඳහා හයිපොතැලමසයේ ඇති වෙට්‍රොලැටරල් ප්‍රී ඔප්ටික් න්‍යෂ්ටිය (Ventrolateral preoptic nucleus – VLPO) තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කරයි. VLPO මගින් ගැමා අමයිනෝ බියුටිරික් අම්ලය (GABA) නමැති නිෂේධනීය ස්නායු සම්ප්‍රේෂකය ශ්‍රාවය කරන අතර, එමගින් මොළයේ අවදි බව පවත්වා ගන්නා කලාප අක්‍රිය කර පුද්ගලයා නින්දට පත් කරයි. මෙම අවදී බව පවත්වා ගන්නා රසායනික ද්‍රව්‍ය අතරට ඇසිටිල් කොලීන් (ACh), ඩෝපමීන්, නෝර්එපිනෙප්‍රීන්, සෙරොටොනින්, හිස්ටමින් සහ හයි පොක්‍රෙටින් (ඔරෙක්සින්) අයත් වන අතර නින්දේදී මේවායේ ක්‍රියාකාරිත්වය අවම වේ.

නින්දේ මූලික කාර්යයන් (උපකල්පන)

  • ස්නායුක පරිණතභාවය වර්ධනය කිරීම.
  • දහවල් කාලයේ ලබාගත් තොරතුරු මතකයක් ලෙස ගබඩා කිරීම (Memory consolidation).
  • මොළයේ ක්‍රියාකාරිත්වය සඳහා අනවශ්‍ය ස්නායුක සබැඳි මකා දැමීම (Targeted erasure of synapses).
  • ඥානාත්මක හැකියාවන් වර්ධනය කිරීම සහ මොළයේ ස්නායුක ක්‍රියාකාරිත්වය හේතුවෙන් ජනනය වන පරිවෘත්තීය අපද්‍රව්‍ය ඉවත් කිරීම.
  • බලශක්ති සංරක්ෂණ න්‍යාය (Energy conservation theory) – බල ශක්තිය සංරක්ෂණය කිරීම.

නින්දේ ප්‍රභේද

කායික විද්‍යාත්මකව මිනිසාගේ නින්ද සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් ප්‍රභේද දෙකකින් සමන්විත වන බව විද්‍යුත් මස්තිෂ්ක රේඛන (EEG) මගින් තහවුරු කර ඇත. එනම් වේගවත් නොවන අක්ෂි චලන නින්ද (Non-Rapid Eye Movement – NREM) සහ වේගවත් අක්ෂි චලන නින්ද (Rapid Eye Movement – REM).

01 NREM නින්ද

මොළයේ ඉහළ බාහික ව්‍යුහයන් සහ මොළයේ කඳ අතර ක්‍රියාකාරී විසන්ධි වීමක් සිදුවන අවධියකි. මෙය තැලමසය සහ බාහිකයේ ඇති හයිපර් පෝල රයිසින් GABA නියුරෝන මගින් පාලනය වන අතර, අක්ෂි චලනයන් සම්පූර්ණයෙන්ම නතර වේ. හෘද ස්පන්දනය, හුස්ම ගැනීමේ වේගය සහ ශරීර උෂ්ණත්වය අඩුවන අතර මාංශ පේශි ලිහිල් වේ.

02 REM නින්ද

මොළයේ ක්‍රියාකාරිත්වය අවදියෙන් සිටින අවස්ථාවකට බොහෝ සෙයින් සමාන වන අතර අක්ෂි ගෝල වේගයෙන් එහා මෙහා චලනය වේ. මෙය ‘REM-on’ කොලිනජික් නියුරෝන මගින් සක්‍රීය වේ. සක්‍රීයව සිහින දකින අතර සිහින වලට ප්‍රතිචාර දැක්වීම වැළැක්වීමට විශාල මාංශ පේශි පද්ධතිය අක්‍රිය තත්ත්වයකට (atonia) පත්වේ.

නින්දේ අවධීන් සහ ව්‍යුහය (Sleep Stages and Architecture)

නින්දේ දී NREM සහ REM යන ප්‍රභේද එකිනෙක මාරුවෙමින් ක්‍රියාත්මක වන අතර, එය ‘නින්දේ චක්‍රය ‘ (Sleep cycle) ලෙස හැඳින්වේ. සම්පූර්ණ රාත්‍රියක නින්දකදී පුද්ගලයෙකු සාමාන්‍යයෙන් චක්‍ර 4 ත් 5 ත් අතර ප්‍රමාණයක් පසු කරයි. එක් චක්‍රයක් සඳහා මිනිත්තු 90 ත් 110 ත් අතර කාලයක් ගත වේ. සමස්ත නින්දෙන් 75% ක් NREM නින්ද සඳහා ද, ඉතිරි 25% REM නින්ද සඳහා ද වැය වේ.

1 වන අවධිය (N1)
ප්‍රභේදය: NREM
විද්‍යාත්මක නාමය: සැහැල්ලු නින්ද
කාල සීමාව: මිනිත්තු 1-7 (5%)

මොළයේ 8-13 Hz ඇල්ෆා (Alpha) තරංග ක්‍රමයෙන් අඩු වී 4-7 Hz තීටා (Theta) තරංග මතු වේ. ඉතා පහසුවෙන් අවදි කළ හැක. අක්ෂි චලනයන් ඉතා මන්දගාමී වේ.

2 වන අවධිය (N2)
ප්‍රභේදය: NREM
විද්‍යාත්මක නාමය: ගැඹුරු වන නින්ද
කාල සීමාව: මිනිත්තු 10-25 (45-50%)

Sleep spindles සහ K-complexes දැකිය හැක. ශරීර උෂ්ණත්වය සහ හෘද ස්පන්දනය අඩු වේ. නව මතකයන් තහවුරු කිරීම සඳහා අතිශය වැදගත් වේ.

3 වන අවධිය (N3)
ප්‍රභේදය: NREM
විද්‍යාත්මක නාමය: මන්දගාමී තරංග නින්ද
කාල සීමාව: මිනිත්තු 20-40 (25%)

0.5-3 Hz ඩෙල්ටා (Delta) තරංග නිපද වේ. අවදි කිරීම ඉතා අපහසුය. ශරීරයේ අලුත්වැඩියාව, ප්‍රතිශක්ති කරණය සහ පටක වර්ධනය (හෝමෝන) සිදුවේ.

4 වන අවධිය (REM)
ප්‍රභේදය: REM
විද්‍යාත්මක නාමය: REM නින්ද
කාල සීමාව: මිනිත්තු 10-60 (25%)

සිහින දැකීම සිදුවේ. මාංශ පේශි තාවකාලිකව සම්පුර්ණයෙන් අක්‍රිය වේ (Atonia). මොළයේ තරංග අවදියෙන් සිටින විට මෙන් සක්‍රීය වේ.

පුද්ගලයෙකුගේ වයස සමඟ මෙම නින්දේ ව්‍යුහය (Sleep architecture) දැඩි ලෙස වෙනස් වේ. අලුත උපන් බිළිඳුන්ගේ නින්දේ චක්‍රය මිනිත්තු 50 කට පමණ සීමා වන අතර, ඔවුන්ගේ මුළු නින්දෙන් 50% ක් පමණම REM නින්දෙන් (Active sleep) සමන්විත වේ. බිළිඳුන්ගේ මධ්‍යම ස්නායු පද්ධතියේ සීඝ්‍ර වර්ධනය සඳහා මෙම අතිරේක REM නින්ද උපකාරී වේ. වයස අවුරුදු 5 පමණ වන විට ළමුන්ගේ නින්දේ රටාව වැඩිහිටියන්ගේ නින්දේ රටාවට සමාන වීමට පටන් ගනී. වයස්ගත වීමත් සමඟ N3 ගැඹුරු නින්දේ කාලය අඩුවන අතර නින්ද අතරමැද අවදි වීම් (sleep fragmentation) වැඩි වේ.

නිර්දේශිත නින්දේ කාල සීමාවන්

වයස් කාණ්ඩ අනුව රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) දත්ත

අලුත උපන් බිළිඳුන්

මාස 0-3
පැය 14-17

ළදරුවන්

මාස 4-12
පැය 12-16
(දහවල් නින්ද ද ඇතුළුව)

පෙර පාසල් ළමුන්

අවුරුදු 3-5
පැය 10-13

පාසල් ළමුන්

අවුරුදු 6-12
පැය 9-12

යෞවනයන්

අවුරුදු 13-17
පැය 8-10

වැඩිහිටියන්

අවුරුදු 18-60
පැය 7 හෝ ඊට වැඩි

වයෝ වෘද්ධ අය

අවුරුදු 65 ට වැඩි
පැය 7-8

නින්ද සහ අන්තරාසංග පද්ධතියේ හෝමෝන යාමනය

නින්ද සහ මිනිස් සිරුරේ අන්තරාසර්ග පද්ධතිය (Endocrine system) අතර අතිශය සමීප ද්විපාර්ශ්වික සම්බන්ධතාවයක් පවතී. සකැඩියන් රිද්මය සහ නින්දේ අවධීන් මගින් හෝමෝන නිපදවීම සහ ශ්‍රාවය වීම දැඩි ලෙස නියාමනය කරන අතර, නිද්‍රාබාධ හේතුවෙන් සිදුවන නින්ද අහිමි වීම ග්ලූකෝස් පරිවෘත්තීය බිඳවැටීම, ඉන්සියුලින් සංවේදීතාව අඩු වීම සහ පද්ධතිමය ප්‍රදාහයන් ඇතිවීමට සෘජුවම බලපායි.

විශේෂයෙන්ම HPA (Hypothalamic-Pituitary-Adrenal) අක්ෂය සහ නින්ද අතර ඇත්තේ චක්‍රීය සබඳතාවකි. නින්ද නොයාම හේතුවෙන් HPA අක්ෂය සක්‍රීය වී කෝටිසෝල් ඉහළ යන අතර, කෝටිසෝල් ඉහළ යාම මගින් නැවතත් නින්ද බිඳ වැටීම (sleep fragmentation) තවදුරටත් උග්‍ර කරයි.

ර්වර්ධක හෝමෝනය (GH)

නින්දේ බලපෑම:

N3 ගැඹුරු නින්දේදී උපරිම ලෙස ශ්‍රාවය වේ. පටක අලුත්වැඩියාවට සහ මාංශ පේශි වර්ධනයට අත්‍යවශ්‍ය වේ.

නින්ද අහිමි වීමේ ප්‍රතිවිපාක:

ශ්‍රාවය වීම අඩාල වී ශරීරයේ යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය ප්‍රමාද වේ.

කෝටිසෝල් (Cortisol)

නින්දේ බලපෑම:

අවදි වීමට පෙර උදෑසන 9 ට පමණ උපරිම වේ. නින්ද මගින් මෙය රාත්‍රියට අවම මට්ටමක තබා ගනී.

නින්ද අහිමි වීමේ ප්‍රතිවිපාක:

HPA අක්ෂය අධි සක්‍රීය වී මට්ටම ඉහළ යයි. අධිරුධිර පීඩනය සහ මානසික ආතතිය ඇති කරයි.

ග්‍රෙලින් (Ghrelin)

නින්දේ බලපෑම:

කුසගින්න උත්තේජනය කරයි. සකැඩියන් රිද්මය මගින් නියාමනය වේ.

නින්ද අහිමි වීමේ ප්‍රතිවිපාක:

රුධිරයේ මට්ටම ඉහළ ගොස් කාබෝහයිඩ්‍රේට් අධික ආහාර සඳහා රුචිය වැඩි කරයි. තරබාරුකමට හේතු වේ.

ලෙප්ටින් (Leptin)

නින්දේ බලපෑම:

ආහාර ගත් පසු තෘප්තිමත් බව ඇති කරයි.

නින්ද අහිමි වීමේ ප්‍රතිවිපාක:

රුධිරයේ මට්ටම පහත වැටී නිරන්තර කුසගින්න ඇති කරයි.

තයිරොයිඩ් (TSH)

නින්දේ බලපෑම:

NREM නින්දේදී TSH ශ්‍රාවය නිෂේධනය කර පරිවෘත්තීය වේගය පාලනය කරයි.

නින්ද අහිමි වීමේ ප්‍රතිවිපාක:

TRH නිෂේධනය වී මධ්‍යම හයිපෝතයිරොයිඩ් (central hypothyroidism) තත්ත්වයන්ට තුඩු දෙයි.

FSH සහ LH

නින්දේ බලපෑම:

ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරිත්වය පවත්වා ගනී.

නින්ද අහිමි වීමේ ප්‍රතිවිපාක:

හෝමෝන මට්ටම 20% කින් පමණ පහත වැටී ප්‍රජනන සෞඛ්‍යයට බලපායි.

ග්ලිෆැටික් පද්ධතිය සහ මොළයේ අපද්‍රව්‍ය නිෂ්කාශනය

ස්නායු විද්‍යාව තුළ මෑතකදී සොයාගත් අතිශය වැදගත් යාන්ත්‍රණයක් වන්නේ මොළයේ අපද්‍රව්‍ය ඉවත් කරන ‘ග්ලිඟැටික් පද්ධතිය ‘ (Glymphatic system) ය. ශරීරයේ අනෙකුත් අවයව වල පවතින වසා පද්ධතිය (Lymphatic system) හරහා පටකවල අපද්‍රව්‍ය ඉවත් කළද, මධ්‍යම ස්නායු පද්ධතිය තුළ එවැනි සාම්ප්‍රදායික වසා නාල නොමැත. ඒ වෙනුවට, මොළය තුළ එකතු වන විෂ සහිත පරිවෘත්තීය අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ඇස්ට්‍රොග්ලියල් සෛල (astroglial cells) මගින් නිර්මාණය කරන ලද මැක්‍රොස්කොපික් අපද්‍රව්‍ය නිෂ්කාශන පද්ධතියක් පවතී.

ග්ලිෆැටික් පද්ධතියේ ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම පාහේ රඳා පවතින්නේ පුද්ගලයෙකු ලබන නින්දේ ගුණාත්මකභාවය මත වන අතර, විශේෂයෙන්ම N3 මන්දගාමී තරංග නින්දේදී (Slow-wave sleep) මෙහි ක්‍රියාකාරිත්වය උපරිම වේ. දිවා කාලයේදී නියුරෝන වල ක්‍රියාකාරිත්වයේ අතුරු ඵලයක් ලෙස මොළය තුළ ලැක්ටික් අම්ලය මෙන්ම විෂ සහිත ප්‍රෝටීන වර්ග වන ඇමයිලොයිඩ් බීටා (amyloid-beta) සහ ටවු (tau) ප්‍රෝටීන එකතු වේ. මෙම ප්‍රෝටීන නිසි පරිදි බැහැර නොවුණහොත් ඒවා මොළය තුළ ඵලක (plaques) සහ ගැට (tangles) ලෙස තැන්පත් වී පසුකාලීනව ඇල්සයිමර් රෝගය (Alzheimer’s disease) වැනි දරුණු ස්නායු පරිහානීය රෝග ඇති කරයි.

ග්ලිෆැටික් පද්ධතියේ ක්‍රියාකාරිත්වය

පුද්ගලයෙකු ගැඹුරු නින්දට පත්වන විට මොළයේ නෝර්එපිනෙප්‍රීන් (norepinephrine) මට්ටම පහත වැටෙන අතර, එමගින් මොළයේ සෛල අතර ඇති අන්තර් සෛලීය අවකාශය (interstitial space) 60% කින් පමණ ප්‍රසාරණය වේ. ඉන්පසුව මොළය වටා ඇති මස්තිෂ්ක සුෂුම්නා තරලය (Cerebrospinal fluid – CSF), රුධිර වාහිනී වටා ඇති විචෝ-රොබින් අවකාශයන් හරහා මොළයේ පටක තුළට වේගයෙන් ගලා යයි. මෙම ක්‍රියාවලිය සඳහා ඇස්ට්‍රොසයිට් සෛල වල ඇති ඇක්වා පොරින් – 4 (Aquaporin-4 / AQP4) නමැති ජල නාලිකා අතිශය වැදගත් වේ. සත්ව පර්යේෂණ වලට අනුව AQP4 නාලිකා ඉවත් කළ විට මොළයේ අපද්‍රව්‍ය ඉවත් කිරීම 70% කින් පමණ පහත වැටේ.

“පර්යේෂණවලට අනුව, උඩු අතට හෝ මුහුණ පහතට හරවාගෙන නිදා ගන්නවාට වඩා ඇලයට හැරී නිදාගැනීම (side sleeping) මගින් රුධිර වාහිනී අවකාශයන්ගේ කෝණයන්ට අනුව ග්ලිෆැටික් පද්ධතියේ තරල ගමනාගමනය වඩාත් ප්‍රශස්ත කරයි.”

නින්ද සහ මානසික සෞඛ්‍යය අතර ද්විපාර්ශ්වික සබැඳියාව

නින්ද සහ මානසික සෞඛ්‍යය අතර පවතින්නේ එකිනෙකට වෙන් කළ නොහැකි, ද්විපාර්ශ්වික (Bidirectional) සබැඳියාවකි. නින්දේ ගැටළු මානසික රෝග සඳහා හුදු රෝග ලක්ෂණයක් පමණක් නොව, මානසික රෝග ඇතිවීමට සහ ඒවායේ පුනරාර්වර්තනයට හේතු වන ප්‍රබල සාධකයක් බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වී ඇත.

ප්‍රමාණවත් නින්දක් නොලැබෙන විට, මොළයේ චිත්තවේග පාලනය කිරීමේ හැකියාව දැඩි ලෙස පිරිහී යයි. නිදසුනක් ලෙස, එක් රැයක නින්ද අහිමි වීම පවා පුද්ගලයෙකු ආතතියට, කෝපයට සහ මානසික වෙහෙසට පත්වීමේ ප්‍රවණතාවය ඉහළ නංවයි. වසංගත රෝග විද්‍යාත්මක පර්යේෂණ වලට අනුව, දිගුකාලීන නින්ද නොයාමෙන් (Chronic insomnia) පෙළෙන පුද්ගලයින්ට සාමාන්‍ය පුද්ගලයින්ට සාපේක්ෂව මානසික අවපීඩනය (Depression) ඇතිවීමේ අවදානම පස් ගුණයකින් ද, භීතිකා ආබාධ (Panic disorder) ඇති වීමේ අවදානම විසි ගුණයකින් ද ඉහළ යයි.

පුද්ගලයෙකුගේ සර්කැඩියන් රිද්මයේ හැඩගැස්ම (Circadian chronotype) ද ඔවුන්ගේ මානසික යහ පැවැත්මට බලපායි. වේලාසනින් නින්දට ගොස් අවදි වන පුද්ගලයින්ට (Morning larks) සාපේක්ෂව, ප්‍රමාද වී නිදාගන්නා පුද්ගලයින්ට (Night owls) මානසික ගැටළු ඇති වීමේ අවදානම වැඩිය. විශේෂයෙන්ම රාත්‍රී මාරුවීම් ක්‍රමයට වැඩ කරන පුද්ගලයින්ගේ (Night-shift workers) අභ්‍යන්තර ඔරලෝසුව බාහිර පරිසරය සමඟ නොගැලපීම හේතුවෙන් ඔවුන්ට මානසික අවපීඩනය ඇතිවීමේ අවදානම දිවා කාලයේ සේවය කරන අයට වඩා 40% කින් පමණ වැඩිය. එසේ වුවද, නින්දේ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීමේ ප්‍රතිකාර මගින් මානසික අවපීඩනය, කාංසාව සහ භින්නෝන්මාදයේ (psychosis) රෝග ලක්ෂණ සැලකිය යුතු ලෙස අඩු කළ හැකි බව පෙන්වා දී ඇත.

නින්ද ආශ්‍රිත රෝග සහ අක්‍රමිකතා (Sleep Disorders and Pathophysiology)

නින්ද ආශ්‍රිත අක්‍රමිකතාවන් හඳුනා නොගැනීම සහ නිසි ප්‍රතිකාර නොලැබීම පුද්ගලයෙකුගේ ශාරීරික සහ මානසික යහපැවැත්මට බරපතල තර්ජනයක් එල්ල කරයි. සායනිකව හඳුනා ගෙන ඇති ප්‍රධාන නිද්‍රාබාධ කාණ්ඩ කිහිපයක් පහත පරිදි විස්තර කළ හැක:

1. නින්ද නොයාම (Insomnia)

ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් පීඩා විඳින වඩාත් බහුලව දක්නට ලැබෙන නිද්‍රාබාධය මෙයයි. රාත්‍රියට නින්දට යාමේ අපහසුව, නින්ද අතර මැද නිතර අවදි වීම, අලුයම වේලාසනින් අවදි වී නැවත නින්ද නොයාම සහ ප්‍රමාණවත් නින්දක් ලැබුවද උදෑසනට ප්‍රබෝධමත් බවක් නොදැනීම මෙහි ප්‍රධාන ලක්ෂණ වේ.

රැකියාව, පවුල හෝ ආර්ථිකය පිළිබඳ ආතතිය, මානසික අවපීඩනය, අක්‍රමවත් නින්දේ පුරුදු, කැෆේන්, නිකොටින් හෝ මත්පැන් අධික ලෙස භාවිතය, සහ ඇදුම වැනි රෝග තත්ත්වයන් මීට හේතු විය හැක. දිගුකාලීන නින්ද නොයාම මගින් HPA අක්ෂය අඛණ්ඩව සක්‍රීය කර කෝටිසෝල් මට්ටම ඉහළ නංවන අතර, එය හෘද රෝග, දියවැඩියාව සහ සියදිවි නසා ගැනීමේ සිතුවිලි ඇතිවීමට සෘජුවම බලපායි.

2. නින්දෙන් හුස්ම හිරවීම (Sleep Apnea)

පුද්ගලයෙකු නිදා සිටින විට හුස්ම ගැනීම තාවකාලිකව නැවතීම හෝ අසාමාන්‍ය ලෙස නොගැඹුරු වීම (hypopnea) සිදුවන ජීවිතයට තර්ජනයක් විය හැකි තත්ත්වයකි. ප්‍රභේද දෙකකි:

  • අවහිරතාකාරී නින්දෙන් හුස්ම හිරවීම (OSA): නින්දේදී උගුරේ මාංශ පේශි ලිහිල් වීම නිසා ශ්වසන මාර්ගය භෞතිකව අවහිර වීමෙන් සිදු වේ. අධික ලෙස ගෙරවීම, නින්දෙන් හුස්ම හිර වී ගැස්සී අවදි වීම මෙහි ලක්ෂණ වේ. තරබාරුකම, ඝනකම් බෙල්ලක් පිහිටීම, දුම්පානය අවදානම් සාධක වේ.
  • මධ්‍යම නින්දෙන් හුස්ම හිරවීම (CSA): හුස්ම ගැනීම පාලනය කරන මොළයේ කලාප මගින් ශ්වසන මාංශ පේශි වෙත නිසි සංඥා ලබා නොදීම නිසා හුස්ම ගැනීම නතර වේ. හෘදයාබාධ ඇති රෝගීන්, ආඝාතය වැළඳුණු රෝගීන් මේ සඳහා අවදානමක් දරයි.

රුධිරයේ ඔක්සිජන් මට්ටම හදිසියේ අඩුවන අතර, එය අධි රුධිර පීඩනය, හෘදයාබාධ, ආඝාතය සහ ඉන්සියුලින් ප්‍රතිරෝධයට ප්‍රබල හේතුවකි. ප්‍රතිකාර ලෙස CPAP යන්ත්‍ර භාවිතය වඩාත් සාර්ථක වේ.

Sleep Apnea CPAP යන්ත්‍රය

3. නා කොලෙප්සිය (Narcolepsy) සහ අධික නිදිමත ගතිය

නා කොලෙප්සිය යනු මොළයට නින්ද සහ අවදී වීමේ චක්‍රය නියාමනය කිරීමට ඇති හැකියාව සම්පූර්ණයෙන්ම අඩපණ වන නිදන්ගත ස්නායු විද්‍යාත්මක ආබාධයකි. ප්‍රධානතම හේතුව වන්නේ මොළයේ හයිපොතැලමසය මගින් නිපදවන අවදි බව පවත්වා ගන්නා ‘හයි පොක්‍රෙටින්’ (Hypocretin / Orexin) නමැති නියුරෝන විනාශ වී යාමයි.

දිවා කාලයේ අධික නිදිමත (EDS): දහවල් කාලයේ හදිසියේම පාලනය කළ නොහැකි ලෙස නින්ද යාම.
කැටප්ලෙක්සි (Cataplexy): දැඩි චිත්තවේගයන් හමුවේ හදිසියේම මාංශ පේශි වල පාලනය ගිලිහී යාම.
ස්ලීප් පැරලයිසිස් (Sleep paralysis): අවදි වන විට කතා කිරීමට හෝ ශරීරය චලනය කිරීමට නොහැකි වීම.
මායාවන් (Hypnagogic hallucinations): දෘශ්‍ය හෝ ශ්‍රව්‍ය මායාවන් දැකීම.

4. පැර සොම්නියා තත්ත්ව (Parasomnias)

පැරසොම්නියා යනු නින්දේදී, නින්දට යන විට හෝ අවදි වන විට අකමැත්තෙන් සිදුවන අසාමාන්‍ය චර්යාවන්, චලනයන් සහ හැඟීම් සමූහයකි. මේවා නින්දේ කුමන අවධියේදී සිදුවන්නේද යන්න මත වර්ගීකරණය කෙරේ.

REM නින්දේ චයාත්මක ආබාධය (RBD)

අවධිය: REM නින්ද

ලක්ෂණ/යාන්ත්‍රණය: මාංශ පේශි අක්‍රිය වීමේ යාන්ත්‍රණය (Atonia) අඩපණ වේ. රෝගීන් තම සිහින වලට අනුරූපව සැබෑවටම ක්‍රියාශීලීව හැසිරේ. කෑගැසීම, පයින් ගැසීම, සහ සහකරුට පහර දීම සිදු කරයි.

ප්‍රතිවිපාක: පාකින්සන් රෝගය (Parkinson’s), ලුවී බොඩි ඩිමෙන්ශියාව වැනි පරිහානීය ස්නායු රෝග වල පූර්ව ලක්ෂණයක් විය හැක. මෙලටොනින් හෝ ක්ලෝනසෙපෑම් මගින් පාලනය කළ හැක.

නින්දෙන් ඇවිදීම (Sleepwalking)

අවධිය: NREM (N3 ගැඹුරු නින්ද)

ලක්ෂණ/යාන්ත්‍රණය: මොළයේ ගැඹුරු නින්දෙන් අර්ධ වශයෙන් අවදි වීමක් සිදුවේ. ඇස් විවෘතව තබාගෙන සිටියද අවට පරිසරය පිළිබඳ අවබෝධයක් නොමැත. දරුවන් අතර බහුලව දක්නට ලැබේ.

ප්‍රතිවිපාක: ආතතිය, ප්‍රමාණවත් නින්දක් නොලැබීම සහ ජානමය බලපෑම මෙයට හේතු වේ. නිවසින් පිටතට යාමෙන් අනතුරු සිදුවිය හැක.

එන්යුරෙසිස් (Sleep Enuresis) NREM/REM

වයස අවුරුදු 5 ට වැඩි ළමුන් හෝ වැඩිහිටියන් නින්දේදී නොදැනුවත්වම මුත්‍රා කිරීම. ලැජ්ජාව සහ මානසික පීඩනයට හේතු වේ.

කැටතේ නියා (Catathrenia) NREM/REM

නින්දේදී දිගු කෙඳිරි ගෑම් සහ සුසුම් හෙලීම් නිකුත් කිරීම. සහකරුගේ නින්දට දැඩි බාධාවකි.

Sexsomnia ප්‍රධාන වශයෙන් NREM

නින්දේ පසුවන අතරතුර නොදැනුවත්වම ලිංගික ක්‍රියාවල නිරත වීම හෝ සහකරු ස්පර්ශ කිරීම. මානසික ආතතිය සහ සම්බන්ධතා ගැටළු ඇති කළ හැක.

ක්‍රමවත් නින්දක් ලබා ගැනීම සඳහා විද්‍යාත්මක මාර්ගෝපදේශ (Sleep Hygiene)

ප්‍රශස්ත කායික සහ මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීම සඳහා සෑම රාත්‍රියකම ක්‍රමවත්, ගුණාත්මක නින්දක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) සහ ජාතික වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍ය ආයතනය (NIOSH) විසින් පහත සඳහන් සායනික මාර්ගෝපදේශ පෙන්වා දී ඇත:

1

නින්දේ කාලසටහනක් පවත්වා ගැනීම

සති අන්තයේ සහ නිවාඩු දිනවල පවා සෑම දිනකම එකම වේලාවකට නින්දට යාම සහ එකම වේලාවකට අවදි වීම අතිශය වැදගත් වේ. මෙමගින් ශරීරයේ අභ්‍යන්තර සකැඩියන් රිද්මය පුහුණු කරනු ලබයි. දහවල් කාලයේ නිදා ගැනීම අත්‍යවශ්‍ය නම්, එය සවස 3 ට පෙර පැයකට අඩු කාලයකට සීමා කළ යුතුය.

2

ආලෝකය සහ පරිසරය ප්‍රශස්තකරණය

දිවා කාලයේදී ස්වාභාවික හිරු එළියට නිරාවරණය වීමෙන් ජීව විද්‍යාත්මක ඔරලෝසුව ශක්තිමත් වේ. නින්දට යාමට පෙර (අවම වශයෙන් පැය 1.5 සිට 2 කට පෙර) රූපවාහිනී, පරිගණක සහ ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය නැවැත්විය යුතුය. නිල් ආලෝකය මෙලටොනින් ශ්‍රාවය වීම ප්‍රමාද කරයි. කාමරය අඳුරු, නිශ්ශබ්ද සහ සිසිල්ව තබා ගන්න.

3

උත්තේජක ද්‍රව්‍ය සහ මත්පැන් වළක්වා ගැනීම

නින්දට යාමට පැය 4-6 කට පෙර කැෆේන් (කෝපි, තේ) මෙන්ම නිකොටින් භාවිතය නතර කළ යුතුය. මත්පැන් (alcohol) පානය කිරීමෙන් ඉක්මනින් නින්ද ගියද, එය නින්දේ ගුණාත්මකභාවය විනාශ කරන අතර REM නින්දට බාධා පමුණුවමින් රාත්‍රිය මැදදී නිතර අවදි වීමට හේතු වේ.

4

නිදන කාමරයේ භාවිතය සීමා කිරීම (Stimulus Control)

මොළය නිදන කාමරය නින්ද සමඟ පමණක් සම්බන්ධ කළ යුතුය. ඇඳ මත සිට රූපවාහිනී නැරඹීම, ආහාර ගැනීම හෝ වැඩ කිරීම නොකළ යුතුය. විනාඩි 20 ක් ඇතුළත නින්ද නොයන්නේ නම් ඇඳෙන් නැගිට පොතක් කියවීම වැනි වෙහෙසකර නොවන දෙයක් කර නැවත නිදිමත දැනෙන විට පමණක් ඇඳට යා යුතුය.

5

ආහාර, ව්‍යායාම සහ පූර්ව නිද්‍රා චර්යාවන්

නින්දට ආසන්නව අධික ලෙස බර හෝ කුළු බඩු සහිත ආහාර ගැනීමෙන් වැළකිය යුතුය (Heartburn/GERD වළක්වා ගැනීමට). රාත්‍රියට දියර වර්ග පානය සීමා කරන්න. නින්දට පැය 3-4 කට පෙර දැඩි ව්‍යායාම කිරීමෙන් වැළකිය යුතුය. නින්දට පැය 1-2 කට පෙර උණුසුම් ජලයෙන් ස්නානය කිරීමෙන් නින්ද උත්තේජනය වේ.

නිගමනය

මිනිසාගේ කායික, මානසික සහ සංජානනාත්මක සෞඛ්‍යයේ පදනම වන්නේ ප්‍රමාණවත් සහ ගුණාත්මක නින්දයි. නින්ද යනු විවේක ගැනීමක් පමණක් නොව, මොළයේ විෂ ද්‍රව්‍ය ඉවත් කරන ග්ලිෆැටික් පද්ධතියේ ක්‍රියාකාරිත්වයේ සිට අන්තරාසංග හෝමෝන යාමනය, සෛල අලුත්වැඩියාව, ප්‍රතිශක්තිය ගොඩනැගීම සහ මානසික චිත්ත වේග නියාමනය දක්වා විහිදුණු අත්‍යවශ්‍ය ස්නායුක ක්‍රියාවලියකි. නූතන සමාජයේ කාර්ය බහුලත්වය, ආතතිය සහ තාක්ෂණික උපකරණ භාවිතය හේතුවෙන් දෛනික ජීව රිද්මය බිඳ වැටීම සහ නිද්‍රා ඌනතාවය සීඝ්‍රයෙන් වර්ධනය වී ඇති අතර, එය තරබාරුකම, දියවැඩියාව, හෘද රෝග, ඇල්සයිමර් රෝගය සහ මානසික අවපීඩනය වැනි නිදන්ගත රෝග රැසකට ප්‍රබල දායකත්වයක් සපයයි.

නින්ද ආශ්‍රිත අක්‍රමිකතාවන් හඳුනාගෙන ඒවාට නිසි වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර ලබා ගැනීම අනිවාර්ය වන අතර, හුදෙක් රෝග ලක්ෂණ සමනය කිරීමෙන් ඔබ්බට ගොස් හයි පොක්‍රෙටින් ඇගනිස්ට් වැනි නවීන වෛද්‍ය ප්‍රතිකාර හරහා රෝග මූලයන්ටම පිළියම් යෙදීම අනාගත වෛද්‍ය විද්‍යාවේ දිශානතිය වී ඇත. ඒ සියල්ලටම වඩා, සෞඛ්‍යමත් නින්දේ පුරුදු (Sleep hygiene) දෛනික ජීවිතයට අනුගත කර ගැනීමෙන් රෝග නිවාරණය කර ගනිමින් නිරෝගී සහ ඵලදායී ජීවිතයක් සහතික කර ගත හැක.

Ven Pattiyawela Mahinda
www.emansala.lk