මනස විග්‍රහ කොට ජීවිතය විවරණය කිරීම අපරදිග දාර්ශනිකයින්ටත් ප්‍රථම සිදුකරන ලද්දේ පෙරදිග ආගමික ශාස්තෘන් විසින් සහ දාර්ශනිකයින් විසිනි. බුදුන් වහන්සේ සිය දහමේ වැඩි කොටසක්ම මනස විග්‍රහ කිරීමට වෙන් කල අතර සියල්ලටම වඩා මනස ප්‍රධාන වන බව ද ප්‍රකාශ කරන ලදී. එසේම බුදුන් වහන්සේ සමකාලීන ශට් ශාස්තෘන් මෙන් ම කොම්පියුසියස්, සොක්‍රටීස්, ප්ලේටෝ , හෙරික්ලීටස් වැන්නවුන් ද මනස පිලිබඳ විවිධ නිර්වචනයන් ඉදිරිපත් කරන ලදි.
එහෙත් බටහිර විද්‍යාත්මක සිද්ධාන්ත අනුව යමින් මනස විශ්ලේෂණය කරමින් න්‍යායාත්මක චින්තනයක් ප්‍රකට කරන ලද්දේ ඔස්ට්‍රියානු ජාතික සිග්මන්ඩ් ප්‍රොයිඩ් ය. එනිසා නූතන මනෝ විද්‍යාවේ පියා වශයෙන් මෙන් ම මනෝ විශ්ලේෂණවාදය ලොවට හඳුන්වා දුන් පුද්ගලයා ලෙස ඔහු ලොවම පිලිගනී. විශේෂයෙන් බටහිර රටවල මානසික ආබාධයන් සහිත පුද්ගයන්ට ප්‍රතිකාර කිරීමේදී නොයෙක් වධ බන්ධන වලට ලක්වීමට එකී පුද්ගලයන්ට සිදු වූ අතර එය වෙනස් කිරීමට මූලික මාවත සකස් කරන ලද්දේ මෙම සිග්මන්ඩ් ප්‍රොයිඩ් ය.

එනිසා නූතන මනෝ විද්‍යාවේ පියා වශයෙන් මෙන් ම මනෝ විශ්ලේෂණවාදය ලොවට හඳුන්වා දුන් පුද්ගලයා ලෙස ඔහු ලොවම පිලිගනී. විශේෂයෙන් බටහිර රටවල මානසික ආබාධයන් සහිත පුද්ගයන්ට ප්‍රතිකාර කිරීමේදී නොයෙක් වධ බන්ධන වලට ලක්වීමට එකී පුද්ගලයන්ට සිදු වූ අතර එය වෙනස් කිරීමට මූලික මාවත සකස් කරන ලද්දේ මෙම සිග්මන්ඩ් ප්‍රොයිඩ් ය. මොහු විසින් ලොවට හඳුන්වා දෙන ලද මනෝ විශ්ලේෂණවාදය පසුකාලීනව ඔහුගේ ගුරුකුලයෙන් පවා විවේචනය කරන ලද්දේ වුව ද, තවමත් ප්‍රවීන නවීන විිද්‍යාර්තීන්ගේ බුද්ධි ගවේශනයට මෙන් ම ප්‍රතිකාරක ක්‍රම ශිල්පයක් ලෙස භාවිතයට ගනී. සිග්මන් ප්‍රොයිඩ්ගේ න්‍යායාත්මක හා ප්‍රතිකාරමය සිද්ධාන්ත වලට අමතරව කාල් යුංග් විසින් ඉදිරිපත් කරන ලද විශ්ලේෂණවාදී මනෝ විද්‍යා න්‍යාය, ඇල්ප්‍රඩ් ඇඩ්ලර් විසින් ඉදිරිපත් කරන ලද සමාජීය මනෝ විශ්ලේෂණවාදය, සුවිශේෂි වැදගත්කමක් උසුලන අතර මෙලනී කෙලීන්, කැරන් හෝනි, හැරී සුලිවාන්, එරික් ප්‍රෝම්, ප්‍රොයිඩ්ගේ දියණිය වන ඇනා ප්‍රොයිඩ්, මෙන්ම නව මතවාද මනෝ විශ්ලේෂණවාදයට එක්කල එරික් එරික්සන් යන මනෝ විද්‍යාඥයින් මනෝ විශ්ලේෂණවාදය ප්‍රතිපෝෂණය කල විද්වතුන් අතර සුවිශේෂත්වයක් උසුලයි.
සිග්මන් ප්‍රොයිඩ් විසින් සිය න්‍යායාත්මක අදහස් ඉදිරිපත් කිරීමේදී පහත සඳහන් කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමුකරන ලදී.
- මනසේ ස්ථර – Levels of Mind
- පෞරුෂ ව්‍යුහය – Structures of Personality
- මනෝ ලිංගික අවධි – Psychosexual Development Stages
- සංරක්ෂණ ප්‍රයෝග – Defence Mechanism
මනසේ ස්ථර : Levels of Mind
ප්‍රොයිඩ්ට අනුව මිනිස් සිත මුහුදේ පාවෙන අයිස් කන්දක ස්වරූපය ගනී. ජලයෙන් මතු පිට පෙනෙන අයිස් කන්දේ කුඩා කොටස සවිඤ්ඤානය හෙවත් උඩු සිත (conscious) ලෙස හඳුන්වන ප්‍රොයිඩ් ගැඹුරු ජලයෙහි සැගව ඇති කන්දේ ඉතා සුවිශාල කොටස අවිඤ්ඤාණය හෙවත් යටි සිත (Unconscious) ලෙස හඳුන්වයි. මීට අමතරව මතුපිට ජලයෙන් විනිවිද පෙනෙන අයිස් කන්දේ මධ්‍ය කොටස උප විඤ්ඤාණය හෙවත් මැද සිත ( Sub conscious) ලෙස හඳුන්වයි.

සවිඤ්ඤාණය යනු පසිඳුරන් හා බද්ධ වූ නොනිදා සිටින විට ක්‍රියාත්මක සිතයි. මෙම සිතෙහි මතක ගබඩාව එතරම් විශාල නොවේ. මෙහි මතකය නවතම තොරතුරු වලින් මෙන් ම අපගේ ප්‍රියතම හා අප්‍රියතම මතකයන්ගෙන් සමන්විත වෙයි. සක්‍රීය නින්දත් සමග සවිඤ්ඤාණය අක්‍රීය වෙයි. නින්දෙන් පිපිදුනු සැනින් නැවත සක්‍රීය වෙයි. යමක් ක්ෂණිකව මතකයට එන්නේ එම මතකය මෙම සවිඤ්ඤාණයෙහි සුරක්ෂිතව තිබුනොත් පමණි. එහෙත් සමහර මතකයන් අපට ක්ෂණිකව ලබාගත නොහැක. මද වේලාවක් කල්පනා කල පසු එම මතකය අපට ලබාගැනීමට හැකි බව ඔබට ප්‍රත්‍යක්ෂය. එසේ නම් එම මතකය සවිඤ්ඤාණය නොවන එහෙත් ඊට අසන්න තැනක තැම්පත්ව තිබිය යුතුය. එසේ මතකයට නගාගත හැකි අපගේ තොරතුරු තැම්පත්ව ඇත්තේ උප විඤ්ඤාණය හෙවත් මැද සිත (Sub conscious) තුළය. එම සිත ද සුවිශාල නැත. නිරන්තරයෙන් ම සවිඤ්ඤාණය හා එක්ව පවතී. ප්‍රොයිඩ්ට අනුව ඉතා වැදගත් වන්නේ අවිඤ්ඤාණයයි. ආත්ම ගානක මතකය මෙන්ම අප කරන කියන සිතන සියළු දෑ මෙම යටසිතෙහි තැම්පත්ව ඇත. මෙම සිතෙහි තැම්පත්ව ඇති මතකය අපට අවශ්‍ය කල්හී සිහියට නගාගත නොහැක. හැම විටම සක්‍රීයව පවතින මෙම සිත අප නින්දේ පසුවුව ද නොනිදා සිටී.
ජීවියා ජීවත් කරවීම හා අභිප්‍රෙර්ණය පිණිස ප්‍රබල ආශයන් දෙකක් ලෙස ජීව ආශය හා මරණ ආශය පුද්ගලයා තුළ පවතින බව ප්‍රොයිඩ් අවධාරණය කරයි. එනම් ජීවත් වීමට ඇති කැමැත්ත හා මරණයට ඇති කැමැත්තයි. අප අතපය නැතුව හෝ ඇදු පැළදුම් නැතුව හෝ සැප සම්පත් නැතුව හෝ කෙසේ හෝ ජීවත් වීමට වෙර දරන්නා සේම සැප සම්පත්, යස ඉසුරු, ආදරය හා රැකවරණළුය පවා තිබියදී සමහරුන් තම දිවියට සමුදෙයි. මෙසේ ජීවත්වීමට ඇති කැමැත්ත හා මරණයට ඇති කැමැත්ත ප්‍රමුඛව පුද්ලයාගේ දැඩි අවශ්‍යතාවන් සහිත දළ සිත ලෙස ID යන සංකීර්ණයක් හඳුන්වාදෙන ප්‍රොයිඩ් එය අපගේ අවිඤ්ඤාණය තුළ තැම්පත්ව ඇති බව පවසයි. සංස්කෘතික හර පද්ධතියට හෝ ආගම දහමට හෝ නීති රීතිවලට අවනත නොවන මෙම දළ සිත හැම විටම ආහාර පාන, නින්ද, ලිංගිකත්වය වැනි මූලික අවශ්‍යතා මත පමණක් යැපීමට කටයුතු කරනු ලබයි. මේ නිසා ID කිසි විටක සමාජ සම්මතයන්ට අවනත නොවෙයි. පියවි සිහියෙන් ලබාගත නොහැකි අවශ්‍යතා ID නින්දේදී සපුරා ගැනීමට උත්සාහ කරයි. ඔබ කුසගින්නේ සිට නිදාගත් දිනවලදී සිහිනෙන් ආහාර ගන්නා අයුරු ඔබ දැක ඇත. එසේම කායික අවශ්‍යතා සිහිනෙන් සපුරා ගන්නා ආකාරය ද බොහෝ විට දැක ඇත. ID නරක නැත. ID හැම විටම සිදු කරන්නේ ඔබව සතුටින් තබන්නටය. ඔහුට සමාජ සම්මත, සිරිත් විරිත්, ආගමික දර්ශන අදාල නොවේ. හැම විටම ID ආත්මාර්ථකාමී වේ. එහෙත් අගේ යටිහිතේ ඇති මෙම දැඩි ආශාවන් සහිත ID හැම විටම ජය ගන්නේ නැත. අපේ මෙම දැඩි ආශාවන් අපි බොහෝ විට යටපත් කරගනී. නැතිනම් සීමා මායිම් අපි ම පනවා ගනිමු. මේ අපේ ප්‍රබල ආශයන් සහිත ID පාලනය කිරීමට පෙරට එන්නේ සවිද්ඤ්ඤාණය හා උප විඤ්ඤානය ආශ්‍රයෙන් පවතින Super Ego ය. Super Ego හැමවිටම අපගේ යහපත් පැත්ත නිරූපනය කරයි. සංස්කෘතිය, සදාචාරය, සභ්‍යත්වය, ආගමික දර්ශනයන් අනුව මෙන්ම මාපිය ගුරු සබඳතා ආශ්‍රයෙන් තීරණ ගනු ලබයි. එනිසා හැම විටම ID හා ගැටුමකට පිවිසෙයි. ID ගේ අවශ්‍යතා ඒ අයුරින්ම ඉටුකර ගැනීමට Super Ego ඉඩකඩ සලසා දෙන්නේ නැත. මේ නිසා ව්‍යාකූලත්වයට පත්වනේනේ Ego බව ප්‍රොයිඩ් පවසයි. Ego යනු සත්‍ය මම වේ. සවිඤ්ඤාණිකව ID අවශ්‍යතා හා Super Ego අවශ්‍යතා කිරා මැන බලා නිසි තීරණයක් දෙනු ලබන්නේ Ego ය.
පෞරුෂ ව්‍යුහය : Structures of Personality

ප්‍රොයිඩ්ගේ වැදගත් ඉදිරිපත් කිරීමක් වන්නේ මෙම පෞරුෂ ව්‍යුහය පිලිබඳ දක්වන අදහසයි. එනම් Id, Ego, Super Ego පිලිබඳ දක්වන නිර්වචනයයි. ප්‍රොයිඩ්ට අනුව ID අසීමාන්තිකව සන්තර්පනය කිරීම හොඳ නැත. එසේම බලෙන් යටපත් කිරීම ද හොඳ නැත. Super Ego වැඩිවීම ද හොඳ නැත. නැත්තටම නැති වීම ද හොඳ නැත. තම වයසට, තරාතිරමට, පරිසරයට අනුචිත පරිදි ID හා Super Ego පාලනයක් සහිතව පවත්වාගෙන යෑම Ego ගේ වගකීම වේ.
එනම් නිසි පෞරුෂයක් පුද්ගලයා තුළ ගොඩනැගෙන්නේ ID ගේ හෝ Super Ego ගේ බලවත්වීම මත නොව Ego ගේ බලවත්වීම මතය. මේ නිසා පෞර්ෂ රටා තුනක් පහත පරිදි අපට පෙන්නුම් කල හැක.
1. ID බලවත් වූ Super Ego හා Ego දුබල වූ පෞරුෂ රටාව

ඉඩ් බලවත් වූ හැම විටම පුද්ගලයා ආත්මාර්ථකාමීව කටයුතු කරනු ලබයි. හැම විටම තමා පමනක් සන්තර්පනය වීමට පෙලඹෙයි. අන්‍යයා නොසලකා හරියි. මෙය ප්‍රබල වූ විට තමාගේ අභිලාශයන් පවා මූලික අවශයතා වලට පමනක් සීමා කරගනී. බොහෝ විට කෑමට බීමට සහ ලිංගිකත්වයට පමණක් අවධානය යොමුකරන අතර පුද්ගල ස්වස්ථතාව පවා අමතක කරනු ලබයි.
සමාජ අනගාකම් සිරිත් විරිත් ආදිය පවා නොතකා හරිනු ලබයි. පියා විසින් දියණිය අපහරණය කිරීම හෝ පවුල් ජීවිත ගතකිරීම්, සහෝදරයා විසින් සිය සහෝදරිය අපහරණය කිරීම මෙවැනි සිද්ධී ඇති වන්නේ ID ප්‍රබල Super Ego දුබල Ego අසරණ වූ පෞරුෂත්වයක් තුළ බව ඔබට පැහැදිලි වනු ඇත.
2. Super Ego බලවත් වූ ID හා Ego දුබල වූ පෞරුෂ රටාව.

සමාජ සම්මතයන්ගෙන් පවා ඔබ්බට යමින් සමහර පුද්ගලයන් සිල්වත් වීමට උස්සාහ දරන ආකාරය අපට දැකගත හැකි වේ. එවැනි සිල්වත් භාවය සාර්ථක පවුල් ජීවිතයක් බිඳ වැටීමට පවා හේතු වේ. ගිහි දිවියේ විවාහ වී නිවසේ රැදෙමින් බ්‍රක්මචාරී දිවියක් ගතකරමින් සිටින තැනත්තන් අප දැක ඇත. එසේම තැනට ඔබින ආකාරයෙන් කටයුතු නොකොට ප්‍රිය සම්භාෂණයකදී ද සිල්ගත් උවසුවෙක් ලෙස සිටින පුද්ගලයන් ද අප දැක ඇත.
මෙවැනි පුද්ගලයන් ලැජ්ජාශීලි පුද්ගලයන් වන අතර ම ක්‍රියාශීලී පුද්ගලයන් ද නොවෙති. බොහෝ විට සඟවාගත් අතෘප්තිකර බවක් ඔහුන් තුළ දක්නට ලැබේ. මොහුන් හැම විටම ID සංකීර්ණයේ ප්‍රබල ආශයන් Super Ego මගින් තදින් යටපත් කරනු ලබයි.
3. Ego බලවත් වූ ID හා Super Ego දුබල වූ පෞරුෂ රටාව.

ප්‍රොයිඩ්ට අනුව නිසි පෞරුෂයෙන් යුක්ත පුද්ගලයා ID ට හෝ Super Egoට යටවන්නේ නැත. IDගේ අවශ්‍යතා පරිසර බද්ධව, අවස්ථා පද්ධව මෙන්ම සමාජ බද්ධව විශ්ලේෂණය කරනු ලබයි. Super Egoට හොඳින් සවන් දෙයි. Ego බලවත්ව සිටිමින් ID ට හෝ Super Egoට යට නොවී නිසි ලෙස තීරණ ගනී. සමහර අවස්ථාවන්හී ID ට බලවත් වන්නට ඉඩදෙන අතර තවත් අවස්ථාවක Super Egoට බලවත් වන්නට ඉඩහරී. එහෙත් මෙම දෙදෙනාගේ මෙහෙයවන්නා ලෙස Ego කටයතු කරනු ලබයි.
මනෝ ලිංගික අවධි: Psychosexual Development Stages.
ප්‍රොයිඩ් විසින් පුද්ගල ජීවිතය අවධි පහකට බෙදා විස්තර කරනු ලබයි. ඒ ඒ අවධි වලදී ලබන අද්දැකීම් පුද්ගල පෞරුෂය ගොඩනැගීමට බලපාන බව ප්‍රොයිඩ්ගේ අදහසයි. එහෙත් ප්‍රොයිඩ්ගේ මෙම මනෝ ලිංගික අවධි සම්බන්ධ අදහස ඔහුගේම අනුගාමිකයන්ගේ පවා දැඩි විවේචනයට ලක්විය. එසේ වුවත් ප්‍රොයිඩ්ගේ මෙම මනෝ ලිංගික අවධි පිළිබඳ අදහස ලෙහෙසියෙන් බැහැර කළ නොහැක.

මුඛීය අවධිය – Oral Phase
දරුවාගේ උපතේ සිට වසර දෙක දක්වා කාලය මුඛීය අවධිය ලෙස හඳුන්වයි. මෙම අවධියේදී සතුට ලබන්නේ මූලිිකව මුඛය මුල්කොටගෙනය. නාසය, කණ, ඇස් ආදියෙන් ලබන අත්දැකීම් මගින් දරුවා ඉගෙනුම් ක්‍රියාවලික යෙදුන ද සතුට ලැබීමට මෙන්ම කාංසා සහගත හැඟීම් ප්‍රකාශ කිරීමට ළමයා මුඛය යොදා ගනී. මවගේ පියවුරු, කිරි බෝතලය, ඇඟිලි, සුප්පුව හෝ අතට හසුවන ඕනෑම දෙයක් මුඛයට ගෙන උරාබීම සිදුකරයි. මෙය හුදෙක් සිදුකරනු ලබන්නේ ආහාරමය අවශ්‍යතාවය පිණිසම නොවේ. ප්‍රොයිඩ්ට අනුව දරුවා දෙතොල්වල උත්තේජනයන් ලබමින් ශෘංගාරාත්මක හැඟිම් ජනිත කරගනී. මුල් මාස 8 උරාබීමෙන් තෘප්ත වන දරුවා ක්‍රමයෙන් හැපීම, තලු මැරීම, විකීම, ගිලීම ආදී මුඛයෙන් සිදු කරන විවිධ ක්‍රියා මගින් ද තෘප්තිමත් වෙයි.

මෙම වසර දෙකක කාලය තුළ දරුවාට මුඛයෙන් ලබන තෘත්තිමත් භාවය ලබා ගැනිමට ඉඩ සලසා දීමෙන් පුද්ගලයාගේ උපරි අහංභාවය (Super Ego) ශක්තිමක් කර ගැනිමට අවකාශ සැලසේ. වැඩි කාලයක් මව්කිරි දීම මව විසින් සිදුකරන්නේ නම් එම දරුව සමාජ හිතකර ආදරබර දරුවෙකු බවට පත්වේ. එසේම මෙම කාලය තුල නිසි තෘප්තිමත් භාවයට පත් නොවන දරුවා පසු කාලයේදී මුරණ්ඩු ගති සහිත පුද්ගලයෙකු විය හැක. එසේම දැඩි රුකවරණ සහිතව අධි තෘප්තිමත්භාවයට පත්වන දරුවා ද සමාජයේ ලැජ්ජාශීලී හා මන්දගාමී හෝ පසුගාමී පුද්ගලයෙකු විය හැක. මේ නිසා මධ්‍යස්ථ භාවයෙන් යුතුව මෙම අවධියේ දරුවා රැකබලා ගැනීම තුලින් යහපත් පෞරුෂයක් සහිත පුද්ගලයෙක් බිහිකල හැකි වේ.
ගුදීය අවධීය – Anal phase

වසර දෙකෙන් ආරම්භ වී වසර හතර දක්වා දිවෙන කාලය මුල් මුඛීය තෘප්තිමත් භාවයෙන් විතැන් වී ගුද මාර්ගය ආශ්‍රයෙන් තෘප්තිමත් විමට ළමයා පෙලඹෙයි. මුඛිය අවධියෙහි පාලනයකින් තොරව මලපහ කල දරුවා මෙම අවධියෙහි මලපහ කිරීම පාලනයකින් යුතුව සිදු කිරිමට පෙළඹෙයි. මලපහ පිටකිරීමෙන් වැලකී සිටීම මෙන්ම මලපහ පිට කිරීම යන කාර්යන් දෙකෙන් ම ළමයා තෘප්තිමත් වෙයි. එසේම මලපහ සමග සෙල්ලම් කිරීම, මලපහ කිරීම සඳහා වැඩි කාලයක් ගත කිරීම ආදිය මේ කාලය තුළ ළමයාගේ චර්යාවන් අතර දක්නට ලැබෙයි. විශේෂයෙන් මෙම කාලය ඉතා වැදගත් වන්නේ Ego සංස්කරණය වන්නේ මෙම කාලය තුළ වන නිසාය. එහෙයින් ID සංතර්පණය සඳහා ළමයා මලපහ කිරීමේ ක්‍රියාවලියට දිගු කාලයක් ගැනීම හෝ මලපහ සමග සෙල්ලම් කිරීම ආදිය දැඩිව පාලනය කිරීමට යෑමෙන් හෝ ඒ සඳහා දඬුවම් කරන්නට යෑමෙන් කාංසා සහගත හැඟිම් ළමයා ඇතිකර ගනී.
එසේම ළමයාගේ මෙම හැසිරීම් පද්ධතිය නොසලකා හැරීමෙන් ද අක්‍රමවත් අවිචාර පුද්ගලයෙකු බිහිවීමට මග පෑදෙයි. මේ නිසා මෙම කාලය තුළ වැඩිහිටියන් විසින් නිසි අවධානයකින් යුතුව ආදරය හා රැකවරණය දැනෙන පරිදි ළමයාට ලබාදී මලපහ කිරීමේ පුදුරු ළමයා තුළ ඇති කිරීම තුළින් යහපත් පෞරුෂයකින් හෙබි පුද්ගලයෙකු බිහිකර ගැනීමට මග සලසාගත හැකිය.
ලිංගරූපී අවධීය – Phallic Phase
තම ලිංගේන්ද්‍රය කෙරෙහි අවධානය යොමු කරමින් හරි ලෙස ස්ත්‍රී පුරුෂභාවය තේරුම් ගැනීම සිදුවන්නේ මෙම අවධියෙහිය. මෙම කාලය වසර 4 සිට 7 දක්වා විහිදෙයි. මෙම කාලයේ තම ලිංගේන්ද්‍රිය අතපත ගාමින් තෘප්තිමත් වන අතර ගැහැනු දරුවන්ගේ හා පිරිමි දරුවන්ගේ වෙනස්කම් ද හඳනාගනී. විශේෂයෙන් මෙහිදී ප්‍රතිවිරුද්ධ ලිංගිකයින් කෙරෙහි අවධානයක් යොමු නොවන අතර සිදුවන්නේ තම ලිංගේන්ද්‍රිය ස්පර්ශ කිරීම සහ අන් අයගේ ලිංගේන්‍ද්‍රිය සමග සංසන්දනය කිරීමය. සිග්මන් ප්‍රොයිඩ්ට අනුව මෙම අවධියේ සුවිශේෂී කෘත්‍යයන් දෙකක් සිදුවේ. ඉන් එකක් ඊඩිපස් සංකීර්ණය වන අතර අනෙක වන්නේ ඉලෙක්ට්‍රෝ සංකීර්ණයයි. මෙමප්‍රොයිඩ්ගේ අදහස පසුකාලීන මනො විද්‍යාඥයින්ගේ දැඩි විවේචනයට ලක්වුව ද මෙම අදහස සහමුලින් ම බැහැරකල හැකි ද නොවේ.
ඊඩිපස් සංකීර්ණය Oedipus Complex

පිරිමි දරුවා මවට තදින් ඇලුම් කරන බවත් තම පියා පිරිමියෙකු ලෙස හඳුනාගෙන ඔහු තමාට එරෙහි ප්‍රතිවාදියා ලෙස සලකන බවත් මෙමගින් විස්තර කෙරේ. මෙහිදී පියාට බියක් දැක්වීමටත් ඔහු කෙරෙහි තරහක් ඇතිකර ගැනීමටත් පිරිමි දරුවා පෙලෙඹෙයි. මව කෙරෙහි ඇති ඇල්ම පියා දැනගතහොත් තමාගේ ලිංගේන්ද්‍රිය කපා දමනු ඇතැයි පිරිමි දරුවා බියවෙයි. මෙය අණ්ඩාහරණය (Castration) ලෙස හඳුන්වයි.
ක්‍රමයෙන් පියා කෙරෙහි ඇතිවන මෙම හැඟීම වරදකාරී සිතුවිල්ලක් ලෙස හඳුනාගන්නා දරුවා මව කෙරෙහි ඇතිව ඇති කාමාශක්ත බව අවිඤ්ඤාණයට අවරෝධනය හෙවත් තෙරපා හරියි. එහි ප්‍රතිඵලයක් ලෙස පියා වීරයෙකු ලෙස හඟින දරුවා පියාගේ පෞරුෂය උකහා ගැනීමට උස්සුක වෙයි.
මෙම කාලයේදී පිරිමි දරුවා තුළ ඇති වන මෙම ඊඩිපස් සංකීර්ණය ක්‍රමයෙන් අවරෝධනය හෙවත් අවිඤ්ඤාණගත විය යුතුය. ඒ සඳහා මවගේ උදව් උපකාර මෙන්ම පියාගේ උදව් උපකාර ද අවශ්‍ය වේ. එසේ නොවුනහොත් දරුවා තුළ බිඳුනු පෞරුෂත්ව ගතිලක්ෂණ ඇතිවිය හැක.
ඉලෙක්ට්‍රෝ සංකීර්ණය Electra Complex
අවුරුදු 4ත් 7ත් අතර කාල පරාසය තුළ ගැහැණු දරුවා තම ලිගේන්ද්‍රි නිරීක්ෂණය කිරීමෙන් පිරිමි දරුවන්ට මෙන් එල්ලෙන ලිංගේන්ද්‍රියක් නොමැතිබව තේරුම් ගැනීමෙන් ඉච්ඡාභංගත්වයට පත්වේ. ගැහැනු දරුවාගේ සිත තුළ ඇතිවන මෙම හැඟීම ප්‍රොයිඩ් අර්ථ දක්වනේනේ පුරුෂ ලිංගික මාත්සර්ය (Penis envy) යනුවෙනි. සිය පියා පිරිමියෙකු ලෙස තේරුම් ගන්නා ගැහැනු දරුවා පියාට ආසක්ත බවක් දක්වන අතරමව කෙරෙහි තරහ සහගත සිතුවිල්ලක් ඇතිකර ගනී.

එසේම තමාට පියාට මෙන් ලිංගේන්ද්‍රියක් නොමැත්තේ සිය මව විසින් එය කපා දමන ලද බව ඇය විශ්වාස කරනු ලබයි. ප්‍රොයිඩ්ට අනුව ගැහැනු දරුවාගේ සිත තුළ පියා කෙරෙහි ඇතිවන මෙම සිතුවිල්ල ඊඩිපස් සංකීර්ණයේදී තරම් පහසුවෙන් විසදෙන්නේ නැත. පියා මව හා එක්ව මෙම ගැටළුව විසඳා ගැනීමට ගැහැණු දරුවාට උදව් නොකලේ නම් ගැහැනු දරුවා පියාට දාව දරුවෙකු ලැබීමට තරම් සිතුවිලි ඇතිකර ගනී.
කෙසේ වෙතත් ක්‍රමයෙන් මවගේ ආදරය හා රැකවරණය හමුවේ ගැහැනු දරුවා මවට වෛර කිරීම වෙනුවට ඇය හා සමීප වීමට දරන උත්සාහය හමුවේ ඉලෙක්ට්‍රෝ සංකීර්ණය පහව යයි. මව විදේශගත වූ හෝ නිතර නිවසේ නොමැති පවුල්වල ගැහැනු දරුවන් පියාගෙන් අතවරයට ලක්වන බව අපි අසා ඇත්තෙමු. එහෙයින් මෙම ඉලෙන්ට්‍රො සංකීර්ණය ගැන ප්‍රොයිඩ් ඉදිරිපත් කල අදහස පසුකාලීන විද්වතුන් කවර අදහස් ඵල කල ද අප ඒ දෙස විචාරශීලීව බැලියයුතු වේ.
නිලීන අවධිය – Latency Phase

අවුරුදු 7ත් 11ත් අතර මෙම කාල පරාසය ගුප්ත අවධිය, අනුශය අවධිය වශයෙන් ද හඳුන්වනු ලබයි. මෙම කාලය තුළ ගැහැනු ළමයින් ස්වකීය ලිංගිකයින් සමග ද පිරිමි ළමයින් තම ස්වකීය ලිංගිකයින් සමග ද කණ්ඩායම් ගතවීම, එක්ව කටයුතු කිරීම ආදිය දක්නට ලැබෙයි. මෙම කාලය තුළ සමාජ ක්‍රියාකාරකම් කෙරෙහි ද අධ්‍යාපන කටයුතු කෙරෙහි ද වැඩි උනන්දුවක් දක්වයි. පූර්ව යොවුන් වියට එළඹීමේදී සිරුරේ සිදුවන වෙනස්කම්වල ආරම්භය මෙම කාලය තුළ දැකිය හැකිය. සාමාන්‍ය වශයෙන් මෙම කාල පරාසය නිහඬ කාල පරාසයක් ලෙස ගෙවී යයි.
වැඩිහිටි අවධිය – Genital Phase
අවුරුදු 12න් ඔබ්බට දිවෙන කාලය වැඩිහිටි අවධිය, ලිංගික අවධිය, වෘද්ධ කාම අවධිය ආදී නම් වලින් හඳුන්වනු ලබයි. මේ වන විට ළමයා නව යොවුන් වියට පාතබයි. කායික වෙනස්කම් වලට මුහුනපායි. ලිංගිකත්වය කෙරෙහි ඇති නැඹුරුවත් ඒ සඳහා ඇතිවන ශික්ෂණයක් අතර තුලනාත්මක වෙනස හඳුනාගනී. එනම් ලිංගිකත්වය කෙරෙහි ඇති ලැදියාව මෙන්ම හැදියාව ද ප්‍රගුණ කරයි. මුඛය, පායුග (ගුදය) ලිංගේන්ද්‍රියේ මතුපිට ආදිය ද්විතීයික කාම ජනන ප්‍රදේශ බවට පත්වේ.

ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇල්ම වැඩිවේ. එසේම මෙකල ලිංගිකත්වය ආශ්‍රිත මනෝමය ගැටළු ද හටගනී. ලිංගික සබඳතා, සමලිංගික සබදතා, ස්ව්‍යං ලිංගික සබඳතා, ආදිය මෙන් ම ගැබ් ගැනීම් ආදිය ද සිදුවේ. එම නිසා මෙම ආරම්භක කාල පරාසය ළමුන්ගේ හෝමෝන ක්‍රියාකාරිත්වය සමග ලිංගික ප්‍රේරණයන් ද උත්සන්නව පවතින ක්‍රියාකාරී කාලයකි. අවුරුදු 13. 14, 15, 16 කාල පරාශයන් තදින් ප්‍රතිවිරුද්ධ ලිංගිකයින් කෙරෙහි ආසක්ත බවක් දක්වයි. ඉන් ඔබ්බට ක්‍රමයෙන් ලිංගික පරිනත බව කරා ගමන් කරයි.
සංරක්ෂණ ප්‍රයෝග. Defense Mechanism
පුද්ගලයා ස්වකීය දිවියේ මුහුණපාන විවිධ අභියෝග හමුවේ නොවැටී සිටීමට විවිධ ප්‍රයෝගයන් අනුගමනය කරයි. බොහෝ ඒවා දැන හෝ නොදැන (අවිඤ්ඤාණගතව) සිදුවේ. ඒවා සංරක්ෂණ ප්‍රයෝග නම් වේ. ප්‍රොයිඩ් මෙම සංසිද්ධිය හඳුන්වනු ලබන්නේ පුද්ගලයා මුහුණ පාන ගැටළුකාරී තත්වයකදී ඇතිවන කාංසාසහගත හැඟීම මගහැරීමට පුද්ගලයා විසින් අනුගමනය කරනු ලබන සංරක්ෂණ ප්‍රයෝග ලෙසය. මේවා හැම විටම අවිඤ්ඤාණගතව ඇතිවන බව ඔහු පවසයි. බොහෝ විට ස්වකීය කාංසාජනක ගැටළුවට යතාර්ථවාදී පිළියමක් නොමැති වූ විට හෝ හේතුවක් නොමැති වූ විට මෙම සංරක්ෂණ ප්‍රයෝග ක්‍රියාත්මක වෙයි. සංරක්ෂණ ප්‍රයෝගවල මූලික ලක්ෂණ 03ක් දැකිය හැක.

ප්‍රොයිඩ් විසින් සංරක්ෂණ ප්‍රයෝග අටක් ද, ලසුකාලීන මනෝ විද්‍යාඥයින් විසින් තවත් 4ක් ද හඳුන්වාදී ඇත. එම සංරක්ෂණ ප්‍රයෝග එකිනෙක පහත විස්තර වේ.
අවරෝධනය – Repression

කාංසා සහගත හැඟීම් සවිඤ්ඥාණගත වන්නට ඉඩනොදී අවිඥානගත වන්නට ඉඩහැරීම අවරෝධනය නම් ව්. එය පුද්ගලයන්, සිද්ධියක්, ස්ථානයක් ආදී වශයෙන් විය හැක. දැඩි කම්පනය නිසා පුද්ගලයන්ට සමහර විට අවට පරිසරය පවා අමතක විය හැක. තමාගේ දිවියේ යම් කාල පාරාසයක් ම අමතක විය හැක. මෙසේ සිදුවන්නේ කාංසා සහගත හැඟීම් සවිඥානගතවීමෙන් සිදුවන හානිය වලක්වනු පිණිසය.
ප්‍රක්ෂේපණය – Projection
තමා තුළ වූ වරද අන් අයගේ වරදක් ලෙස දැකීම මෙහි ලක්ෂණයයි. අන් අයෙකුගේ වරදකාරී ස්වභාවය යලි යලි උලුප්පා දැක්වීම සිදුකරන පුද්ගලයා හැම විටම තමා තුළ ඇති වරදකාරී චර්යාව සඟවා ගැනීමට මාන බලයි. එසේම වරදකාරී හැඟීම් හෝ චර්යාවන් තමා තුළ ඇති බව පිලිනොගනී. වරදකාරී හැඟීම් ඇති මවක් නිතරම තම දියණියට හරියට හැදෙන්න යයි පවසමින් තරවටු කරන්නට පෙලඹෙයි.

වරදකාරී චර්යා සහිත බිරිදක් තම ස්වාමියාගේ සුළු වැරද්දකට අසීමිත ලෙස කිපී රණ්ඩුවකට මුල පුරයි. වරදකාරී ස්වාමි පුරුෂයෙකු තම බිරිඳ සිහිවෙන් සිනාසෙනු දැක එය මහ ගැටළුවක් කර ගනී. මෙම ප්‍රක්ෂේපණ ලක්ෂණ එදිනෙදා දිවියේ අනන්තවත් අප අත්විඳී.
විස්ථාපනය – Displacement

කාංසා සහගත හැඟීම් ඇති කරවන සැබෑ හේතුව මගහැර වෙනත් හේතුවක් හෝ සිද්ධියක්, වස්තුවක් හෝ පුද්ගලයෙක් උදෙසා දක්වන ප්‍රතික්‍රියාව විස්ථාපනය නම් වේ. පරිගණකයෙන් සිදුකරන ක්‍රියාකාරකමක් අවස්ථා කිහිපයකදී තමාට වරදී. ප්‍රතික්‍රියාව පරිගණකයට පහර දීම හෝ පැත්තකට විසිකිරීම විය හැක. එසේම ආයතන ප්‍රධානියා තමාට බැණවැදුනහොත් තම මේෂය ලඟට පැමින රැගෙන ආ ලිපි ගොනු වේගයෙන් තම මේසය මත හෙලීම විය හැක. ස්වාමියා බැනවදින විට බොහෝ විට බිරිද කාමරයට ගොස් වේගයෙන් දොර වසා දමයි. විස්ථාපනය අපේ දිවියේ නිරතුරුව සිදුවන සංරක්ෂණ ප්‍රයෝගයකි.
ප්‍රතික්ශේප කිරීම – Denial
පැහැදිලිව පෙනෙන සත්‍ය වෙනුවට ඊට හාත්පසින් ම වෙනස් මිත්‍යාව පිළිගැනීම Denial නම් වේ. බොහෝ විට යතාර්ථයට මුහුණ දීමට අසමත් වන අය මිත්‍යාව වැලඳ ගනී. තමාගේ අදක්ෂකම හෝ අසමත්කම හමුවේ ඊට තමාගේ දුර්වලතා තේරුම් ගන්නවා වෙනුවට අනිවින, කොඩිවින, හදි හූනියම් පසුපස යෑම සහ තමාට අපල යැයි සිතීම මෙහි එක් ලක්ෂණයකි. එසේම යමකට තදින් ඇබ්බැහි වී ඇත්තන් ඒ බව විස්වාස නොකරයි. සැමියාගේ නිතර ගැටුම්කාරී බවට හේතුව තමාගේ වැරදි සංනිවේදනය (නිතර කියවිම) බව තේරුම් නොගන්නා බිරිද, සැමියා කලහාකාරී නොවන්නට දේව කන්නලව් කරයි.

ප්‍රතික්‍රියා සාධනය – Reaction Formation

තමා විසින් කරනු ලබන ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස කංසා සහගත සිතුවිලි ජනිත වන විට හෝ කාංසා සහගත චර්යාවන් ඇති වු විට එම කාංසා සහගත තත්වයට හේතු වු තම චර්යාවට හාත්පසින් ම වෙනස් චර්යාවක නිරත වීම ප්‍රතික්‍රියා සාධනය නම් වෙි.
විෂම චර්යාවන් වල නිරත වන පුද්ගලයින් සමාජ සාධන ක්‍රියාවන් හී හෝ ආගමික කාර්යයන් හි යෙදෙනු ඔබ දැක ඇත. එසේම නිවසේ කලහාකාරී තැනැත්තන් බාහිර සමාජයේ සුබවාදී චරිත ලෙස පෙනී සිටි. වංචාවෙන් අයුතු ලෙස මුදල් උපයන පුද්ගලයන් දානදී පිංකම් සදහා මෙන්ම සුබසාධන කාර්යයන් සදහා නොපැකලිව වියදම් කරයි.
හේතු යුක්තිකරණය – Rationalization
තමන්ගේ නොහැකියාවන් දුබලතා හෝ වැරදි අනුන්පිට පවරා තමා නිවැරදි පුද්ගලයෙකු ලෙස හුවා දැක්වීමට කටයුතු කිරීම හේතුයුක්තිකරණයයි. විභාගයට අසාර්ථකව මුහුණ දී ඉන් අසමත් වන තැනැත්තා තමා විභාගයෙන් අසමත් වුයේ ප්‍රශ්න ප්‍රතවල වැරදි නිසා හෝ ප්‍රශ්න පත්‍ර නීරික්ෂකවරුන්ගේ වැරදි නිසා යැයි පවසති. එසේම තරගයට ගොස් ඉන් ස්ථානයක් නොලබන සමහරු තමන්ට ස්ථානයක් නොලැබුණේ විනිශ්චයේ වරදක් නිසා යැයි පවසති. මෙවැනි අතාත්වික හේතූන් ඉදිරිපත් කිරිමෙන් තමා නිවැරදිකරුවෙකු යනු හැගීම ඇති කර ගැනීමට උත්සහ ගනී.

උත්කර්ෂණය – Sublimation

තමා තුළ බල පවත්නා දැඩි ප්‍රෙරණයන් හෙවත් ID සංකීර්ණයෙන් ප්‍රබලව අපේක්ෂා කරන රුචිකත්වයන් ඉටුකර ගැනීමට සමාජ සම්මතයන්ගෙන් බාධා පැමිණෙන විට හෝ සමාජයෙන් අනුමැතියක් නොලැබෙන විට පුද්ගලයා දැඩි කාංසාවට පත් වෙයි. එම කාංසාවෙන් මිදීම සදහා මෙන්ම දැඩි ප්‍රෙරණයන් සදහා තම අවශ්‍යතා වෙනත් මුහුණවරයකින් ඉටුකරගැනීමට පෙළඹෙයි. වෙනත් අයුරකින් පැවසුවහොත් අසම්මත චාර්යාවක් සම්මත චර්යාවක් ලෙස ඉටු කර ගැනීමට අවිඥාණිකව පෙළඹවීමක් ඇති කරවීම උත්කර්ෂණය නම් වේ. ආක්‍රමණකාරී හෝ ගැටුම්කාරි චරිත ලක්ෂණ සහිත පුද්ගලයා රගර් හෝ පාපන්දු ක්‍රිඩාවෙහි දක්ෂයෙකු විය හැක. ලිංගික අසාවන්හී තියුණු ආභිලාෂ ඇති පුදගලයෙකු චිත්‍ර ශිල්පියෙකු හෝ සංගිතඥයෙකු වැනි කලාකාමියෙකු විය හැක. නොයෙසේනම් සමාජ සුබ සාධන ක්‍රියාවන්හී යෙදෙන්නෙකු හෝ පෙර පාසල් පාලිකාවක විය හැක.
ප්‍රතිවර්ථනය – Regression
තමාට අමිහිරි වූ කාංසා සහගත අවස්ථාවන් ඇති වු විට තමාගේ සංවර්ධිත අතීතයට පිවිසීම සහ තම අතීතයේ මිහිරි අත්දැකිම් ගෙන හැර දැක්වීම ප්‍රතිවර්තනය නම් වේ. පවුල් ජිවිතය තුළ ගැටළුකාරී තත්වයක් ඇති වු විට බිරිද මහ ගෙදර බලා ගමන් කරන්නේද මෙම සංරක්ෂණ ප්‍රයෝගයේ ප්‍රතිඵලයක් ලෙසිනි. වර්තමානයේ පීඩාකාරී චාර්යාවන්ගේ යුක්ත වුවන් “ඉස්සර අපී මෙහෙම නොවේ කලා බීලා සතුටින් හිටියා. ගමන් බිමන් ගියේ කාර් එකේ, යාන වාහනත් තිබුනා” ආදි වශයෙන් පවසන්නේ මෙම සංරක්ෂණ ප්‍රයෝගයේ ප්‍රතිඵලයක් වශයෙනි.

ප්‍රොයිඩ් විසින් හඳුන්වා දෙන ලද ඉහතින් දක්වා ඇති සංරක්ෂණ ප්‍රයෝගයන්ට අමතරව පහසුකාලීනව පහත සඳහන් සංරක්ෂණ ප්‍රයෝග ද අලුතින් එක්වී ඇත.
මනස්මෘතිය: Fantasy
සැබෑ ලෝකයෙදී ඉටුකර ගැනීමට අපහසු දෑ මනෝමය වශයෙන් ඉටු වූ දෙයක් ලෙස පරිකල්පනය කිරීම හෝ සිහිනෙක් දැකීම.
හානිපූර්ණය: Compensation
කිසියම් දෙයකට අදක්ෂ පුද්ගලයෙක් වෙනත් කාර්යයකින් දක්ෂයෙක් වී තම හානිය පූර්ණය කර ගැනීම මින් අදහස් කෙරේ.
තදාස්මීකරණය: Identification
තමන් හෝ සමාජය විසින් සම්භාවනාවට පාත්‍ර වූ පුද්ගලයෙකු අනුව යමින් ඔහුගේ චරිතය තමාට ආරූඪ කර ගැනීම මින් අදහස් කෙරේ.
ප්‍රතිකාරමය ක්‍රමශිල්ප – Therapeutic techniques
මනෝ විශ්ලේෂණවාදී න්‍යාය භාවිතයෙන් සිදුකරන ප්‍රතිකාරමය ක්‍රමශිල්ප අතර වැදගත් වන්නේ ප්‍රතිකාරමය ඉලක්කයයි.
සේවා ලාභියාගේ:1. ID අවහිරතා මගහැරීම,
2. Ego ශක්තිමත් කිරීම,
3. මානුශීය වූ උපරි අහංභාවයක් (Super Ego) ඇති කිරීම,
යන ක්‍රියාකාරකම් 3 මනෝ විශ්ලේෂණවාදී න්‍යාය භාවිතයෙන් සිදුකරන මූලික ප්‍රතිකාරමය දැක්ම වේ. මේ ඔස්සේ යමින් පහත සඳහන් ප්‍රතිකාරමය ක්‍රමශිල්ප ක්‍රියාත්මක කරනු ලබයි.

නිදහස් සංඝටකය – Free Association
ප්‍රොයිඩ් විසින් ප්‍රතිකාරමය ක්‍රමශිල්පයක් ලෙස සොයාගත් වටිනාම ක්‍රම ශිල්පය වන්නේ මෙයයි. මෙහිදී සේවාලාභියා ඇඳක හෝ හාන්සි පුටුවක හිඳුවා උපදේශකවරයා සේවාලාභියාගේ ඇසට ඇස නොගැටෙන පරිදි හිඳගනී. අනතුරුව සේවා ලාභියාට නිදහසේ තම ජීවිත කතාව ගෙනහැර දැක්වීමට ඉඩහරී. සේවා ලාභියා විසින් තමාගේ ජීවිත කතන්දරය නිදහසේ පවසයි. උපදේශකවරයා සේවාලාභියාට තම කතාව ගෙනහැර දැක්වීමට සහය දක්වයි. එනම් තම කතාව කීමට දිරි දෙයි. මහහැරුනු තැන් හෝ සඟවා සිටීමට උස්සාහ ගන්නා තැන් පැවසීමට සහය වෙයි. මෙම නිදහස් සංඝටනයේ පහත දැක්වෙන ලක්ෂණ සුවිශේෂී වෙයි.

ප්‍රකාශනය.
සැඟවුණු තොරතුරු හා චිත්තාවේග හෙළිදරව්කර ගැනීම මෙමගින් අපේක්ෂිතය. සේවාලාභියා තම කාංසා සහගත අත්දැකිම සඟවා තබාගනීම සඳහා අවිඤ්ඤාණයට අවරෝධනය කරයි. එම කාංසා සහගත අත්දැකීම සවිඤ්ඤාණගත කිරීම තුලින් සේවා ලාභියාට සහනයක් ලැබෙයි.
පැහැදිලිකර ගැනීම.
තොරතුරුවල වැදගත් අන්තර්ගතයන් හඳුනා ගැනීම මෙමගින් අපේක්ෂා කරයි. සේවාලාභියා විසින් බොහෝ විට ඉතා සුවිහේෂී සිද්ධි කෙටියෙන් පවසයි. විශේෂයෙන් තමාගෙන් සිදු වූ අත්වැරදි, අඩුපාඩු හෝ පැවසීමෙන් වැලකී සිටීමට ද උත්සාහ ගනී. මෙවැනි අවස්ථාවන්හී උපදේශකවරයා විසින් එකී සුවිශේෂී තැන් හඳුනාගෙන ඒවා හෙලිකර ගැනීමට උත්සුක විය යුතුය. බලපෑම් ස්වරූපයෙන් නොවන පරිදි සේවාලාභියාට ඔහු විසින් සඟවන තැන් පැවසීමට ඔහු දිරිමත් වන ආකාරයේ ප්‍රශ්න ඔහුගෙන ඇසිය යුතුය.
ශික්ෂණය.
යථා ස්වභාවය තේරුම් ගැනීම සහ ගැටළු නිරාකරණයට ශක්තිමත් වීම මෙමගින් අපේෂිතය. සේවාලාභියා තම කාංසා සහගත අත්දැකීම හඳුනා ගැනීමත්, එය යතාර්ථවාදීව තේරුම් ගැනීමත් මෙහිදී සිදුවන අතර ඒ සඳහා ශක්තිමත් ව මුහුනදීමට ඔහුගේ පෞරුෂත්වය ශක්තිමක් කර ගනී. මේ සඳහා සේවාලාභියාට උපදේශකවරයා විසින් මගපෙන්වයි. ඔහු දිරිමත් කරයි.
පරිවර්තනය
ගැටළු නිරාකරණය පිළිබඳ උපදේශකවරයා හා සේවාලාභියා අතර විශ්ලේෂණයක යෙදීම, මින් අදහස් කෙරේ. බොහෝ වෙලාවට මෙම පරිවර්තන අවස්ථාව සෑම සේවා ලාභියෙකුටම අවශ්‍ය නොවේ. බොහෝ සේවාලාභීන් ශික්ෂණ අවස්ථාවෙන් තම ගැටළුව නිරාකරනය කර ගනී. එහෙත් සමහර සේවාලාභීන්ට ගැටළුව හා ඊට බලපෑ හේතු හඳුනා ගැනීමටත්, හේතූන්ට පිළියම් කිරිමටත් අවශ්‍ය මගපෙන්වීම උපදේශකවරයා විසින් සේවාලාභියා වෙත ලබාදිය යුතුය.ප්‍රතිරෝධ විශ්ලේෂණය – Resistance Analysis
සේවාලාභියාට තමා මුහුණ පෑ කාංසාසහගත අත්දැකීම සිහියට නගා ගැනීම බෝ විට අසීරු කරුණකි. බොහෝ විට තම කාංසා සහගත අත්දැකීමට බලපෑ හේතුන් අනාවරණය කිරීමට සේවා ලාභියා මැලිකමක් දක්වයි. එහිදී සේවාලාභියා, කතාව පවසන අතරතුර වෙනස් විස්තර පවසයි. නොයෙසේ නම් එකම තැන කතාව කරකවයි. එවිට කතාවේ අවස්ථා සම්බන්ධයක් හඳුනාගත නොහැක. සමහරවිට කතාව නවතා හඬයි. පසුව නැවත කතා කරයි. එසේම කතාව කියමින් සිට ටික වේලාවක් නිහඬව කල්පනා කොට නැවත කතාව කියයි.

සේවාලාභියාගේ මෙම හැසිරිම් රටාව හෙවත් ප්‍රතිරෝධය ඉතා වැැදගත් බව ප්‍රොයිඩ් පවසයි. එනම් සේවාලාභියාගේ ගැටළුව ඇත්තේ මෙම ප්‍රතිරෝධය දක්වන තැනම බව අප විසින් තේරුම්ගත යුතුය. එහෙයින් උපදේශකවරයා විසින් සේවා ලාභියා විසින් ප්‍රතිරෝධය දක්වන තැන නිසි පරිදි හඳුනාගෙන එය අනාවරණය කොට විශ්ලේෂණයක යෙදිය යුතුය. සේවාලාභියාට එම හේතුව සහේතුකව හඳුනා ගැනිමට සහ ඊට යතාර්ථවාදී විමට සහය විය යුතුය.
සිහින විශ්ලේෂණය – Dream Analysis
අවරෝධනය කරන ලද අපේක්ෂා පූර්ණත්වයට පත්කර ගැනීමේ මාධ්‍යයක් ලෙස සිහින හඳුන්වයි. එනම් අවිඥානගත ආසාවන් සිහින මගින් ඉටුකර ගනී. මෙම සිහින විශ්ලේෂණයට දිගු ඉතිහාසයක් ද ඇත. පෙර අපරදිග චින්තකයින් මේ පිළිබඳ අවධානය යොමුකොට ඇත. සිග්මන්ඩ් ප්‍රොයිඩ් සිහින සම්බන්ධ පොතක් ද රචනා කොට ඇත.
ප්‍රොයිඩ් ට අනුව අවිඤ්ඤානයේ කැඩපත සිහිනයි. සිහින මගින් අවිඤ්ඤාණගත අපේක්ෂාවන් පිළිබිඹු වෙයි. එසේම සැබෑ ලෝකයේ අත්විදීමට අපහසු දෑ සිහිනෙන් අප ලබා ගනී. පොයිඩ් සිහින ප්‍රකට සංධානය හා අප්‍රකට සංධානය ලෙස කොටස් දෙකකට බෙදයි.

මින් ප්‍රකට සංධානය ලෙස දක්වන්නේ සිහිනයේ පහසුවෙන් හඳුනාගත හැකි කතන්දරයයි. අප සිහිනයක් දුටුවා යැයි පවසන්නේ එම කතන්දරයයි. එහෙත් කතන්දර ස්වරූපයෙන් අප දුටු සිහිනයේ සැගවුනු කොටසක් ඇති බවත් එය සිහිනයේ අප්‍රකට සංධානය වන බවත් එය සිහිනයේ වැදගත් ම කොටස වන බවත් ප්‍රොයිඩ් පවසයි. සමහර සිහින සංකේතානුසාරයෙන් අප දකින බවත් එය අප්‍රකට සංධානයේ සිහින ගනයට වැටෙන බවත් ප්‍රොයිඩ් තව දුරටත් පවසයි.
මෙම සිහින විශ්ලේෂණයක යෙදීමෙන් සේවාලාභියාගේ අවිඥානගත ගැටළු හඳුනා ගනීමට අවකාශ සැලසෙන බව ප්‍රොයිඩ්ගේ මතය වේ.
මෝහනය (ස්වාපනය) Hypnotism
මෝහනය ප්‍රොයිඩ් ට පෙර කාලයේ සිට ප්‍රතිකාර ක්‍රම ශිල්පයක් ලෙස භාවිතයට ගන්නා ලදී. එහෙත් මෙය නිසි පුහුණුවකින් තොරව හා වෘත්තීමය ආචාර ධර්ම වලට අනුකූල නොවී සිදුකිරීම වරදකාරී වේ. මෝහනය මගින් සිදු කරනු ලබන්නේ සේවාලාභියා ගැඹුරු නින්දකට යොමු කොට අවිඤ්ඤාණය වෙත පිවිසීමයි. මෙහිදී මෝහනය කරන්නා හා මෝහනය වන්නා අතර ඇතිවන බන්ධනය සුවිශේෂී වේ. මෝහනය කරන්නා විසින් කියනා දෑ පිලිගැනීමට මෝහනය වන්නා බැඳී සිටින මෙම බන්ධනය ඇණමුම් ශක්තිය (Power of suggestion) ලෙස විග්‍රහ කෙරේ. මෙම ඇණවුම් ශක්තිය මගින් යම් චර්යාවක් ඇති කිරීම, යම් චර්යාවක් යටපත් කිරීම හෝ නිරුන්ධනය කිරීම සිදුකල හැකිය.

වැඩිදුර තොරතුරු සඳහා පහත වීඩියෝව නරඹන්න
මෙම ලිපිය සම්බන්ධව ඔබේ අදහස් පහත Comment හී සඳහන් කරන්නත
More Stories
අපරාධ නිවාරණය සහ මනෝභාව කළමනාකරණය පිළිබඳ විතක්ක සණ්ඨාන සූත්‍ර විමර්ශනය
ප්රගතිශීලී මස්පිඩු ලිහිල් කිරීම| Progressive muscle relaxation
මනස නිවන ගැඹුරු විවේකය | Deep Relaxation for Inner Peace